උරුමක්කාරයින් ඉදිරියට; සත්කාරකයින් එළියට

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2018

1092

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන අර්ධ අවසාන පූර්ව තරගය ඊයේ (7) ප්‍රබල එංගලන්තය හා පෙරළිකාරී ස්වීඩනය අතර පැවති අතර ගෝල 2-0ක පහසු ජයක් සමඟින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන්නට ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමත් විය.

සිව්වැනි හා අවසාන අවසන් පූර්ව තරගයේ දී ක්‍රොඒෂියාව හා සත්කාරක රුසියාව ප්‍රබල සටනක නිරත වූ අතර දඬුවම් පහර 3-4ක් ලෙස සත්කාරකයින්ගේ සැණකෙළිය නිමා කරන්නට ප්‍රබල ක්‍රොඒෂියා ක්‍රීඩකයින් සමත් විය.

ලෝක කුසලානය යුරෝපා කුසලානයක් වෙයි; බ්‍රසීලය හා උරුගුවේ ඉවතට

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය

මගහැරුණු දඬුවම් පහර රුසියාවට දඬුවම් කරයි

සිව්වැනි හා අවසාන අර්ධ අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ක්‍රොඒෂියාව හා සත්කාරක රුසියාව තරග වැදුණු අතර සුපිරි තරගයකට පසු නියමිත කාලය හා අමතර කාලයේ ගෝල 2-2ක් ලෙස තරගය සම වීමෙන් අනතුරුව දඬුවම් පහර තරගයේ තීරණය ලබා දුන් අතර එහි දී දඬුවම් පහර 3-4ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට ක්‍රොඒෂියාව සමත් විය.

මේ පරාජයත් සමඟ රුසියාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවුනත් මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රේණිගත කිරීම්වල පහලම කණ්ඩායම ලෙස ඔවුන්ගේ දස්කම් ඉතා අගය කළ යුතුය.

ස්පාඤ්ඤය සමඟ පැවති 16 දෙනාගේ වටයේ තරගයේ දී මෙන් නොව මේ තරගයේ දී සත්කාරක රුසියාව ආරක්ෂක ක්‍රීඩා විලාසයෙන් මිදී දැඩි ආක්‍රමණකාරී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළේ ක්‍රොඒෂියානුවන් පුදුම කරමිනි.

පළමු අර්ධයේ දී ඉතා ආක්‍රමණකාරී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ ඔවුන් දෙවන අර්ධයේ දී ආරක්ෂාකාරීව ක්‍රීඩා කළේ තරගය අමතර කාලයක් කරා රැගෙන යමිනි. අමතර කාලයේ පළමු භාගයේ ක්‍රොඒෂියාව ගෝලයක් ලබා ගත් අතර දෙවන අර්ධයේ රුසියාව ද ගෝලයක් රැස් කළේ තරගය ඉතා උණුසුම් කරමිනි.

මිනිත්තු 29ක් පුරා කණ්ඩායම් දෙකම උත්සහ කළත් කිසිදු කණ්ඩායමකට පැහැදිලි අවස්ථාවක් හිමි නොවූ අතර 31 වන මිනිත්තුවේ දී ලද පළමු අවස්ථාවෙන්ම තරගයේ පෙරමුණ ගන්නට රුසියානුවෝ සමත් වූහ.

Dzyubaගේ පන්දු යොමු කිරීමක් දක්ෂ ලෙස ලබාගත් Cheryshev දක්ෂ පාද චලනයක් මගින් ක්‍රොඒෂියානු ආරක්ෂකයින් මග හරිමින්, දඬුවම් පහර චතුරශ්‍රය පිටත සිට අලංකාර ප්‍රහාරයක් එල්ල කළ අතර ඉදිරියට පැමිණ සිටි ක්‍රොඒෂියානු ගෝල රකින්නාගේ හිසට ඉහළින් පන්දුව ගෝල රාමුව තුලට ගියේ රුසියානු ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින්ය.

ළාබාල Cheryshev රුසියාවට නව ජවයක් ගෙනාවේය

රුසියානු ප්‍රේක්ෂකයින්ගේ සතුට මිනිත්තු අටකට සීමා කරමින් ක්‍රොඒෂියානු ක්‍රීඩකයින් ද තියුණු ආක්‍රමණයක් දියත් කළ අතර Mandzukic කල් යල් බලා චතුරශ්‍රය තුල දී යොමු කළ පන්දුව Kramaric විසින් සිය හිසෙන් රුසියානු ගෝල රකින්නා, Akinfeev පසු කරමින් දැල තුලට යැව්වේ තරගයේ ගෝල සමකරමිනි.        

Kramaric ගෝලයක් ලබාගත් කිසිදු තරගයක් ක්‍රොඒෂියාව මේ වන තෙක් පරාජය වී නොමැත

පළමු අර්ධය: රුසියාව 01 – 01 ක්‍රොඒෂියාව

දෙවන අර්ධය ආරම්භයේ සිටම ලුකා මොඩ්රික් ප්‍රමුඛ ක්‍රොඒෂියානු ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර දෙවන අර්ධයම රුසියානු ගෝල රකින්නා Akinfeev හට ඉතා කාර්යබහුල විය.

59 වන මිනිත්තුවේ දී Ivan Perisicගේ ප්‍රහාරයක් ගෝල රාමුවේ ඇතුළු පැත්තේ වැදුණ ද නොසිතූ ලෙස පන්දුව ගෝල රාමුවෙන් ඉවතට විසිවුණේ නිසැක ගෝලයක් ක්‍රොඒෂියාවට අහිමි කරමිනි.

පන්දුව ඉතා අවාසනාවන්ත ලෙස ගෝල රාමුවේ වැදී ඉවත ගියේය

රුසියානු ක්‍රීඩකයින් පළමු අර්ධයේ ආක්‍රමණකාරී ක්‍රීඩා විලාසයෙන් මිදී දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසයක් අනුගමනය කිරීමට පෙලඹුණු අතර ක්‍රොඒෂියානු ගෝල රකින්නා Subasic ආබාධයකට ලක්වූ අතර ඉන් ප්‍රයෝජනයක් ගැනීමට රුසියානුවන් උත්සහ කළත් එම උත්සාහය සාර්ථක වූයේ නැත.

නියමිත කාලය අවසානයේ: රුසියාව 01 – 01 ක්‍රොඒෂියාව

අමතර කාලය සඳහා තරගය ක්‍රියාත්මක වූ අතර ක්‍රොඒෂියානු ගෝල රකින්නා Subasic ඇතුළුව තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් සුළු සුළු ආබාධවලට ලක්වීම ඔවුන්ගේ ක්‍රීඩා විලාසයට විශාල බාධාවක් විය.

කෙසේ වෙතත් 101 වන මිනිත්තුවේ දී ක්‍රොඒෂියාවට ලැබුණු ‘corner’ අවස්ථාවක් සාර්ථකව ලබා ගනිමින් VIDA සිය හිසෙන් පන්දුව දැල වෙත යොමු කළේ රුසියානු ආරක්ෂකයින් හා රුසියානු ගෝල රකින්නා කිසිවක් නොකර බලා සිටිද්දීය.

VIDA තරගයේ පීඩනය සම්පූර්ණයෙන්ම සත්කාරකයින්ගේ පැත්තට හැරවීමට සමත් විය

රුසියාවට අමතර කාලයේ ‘corner’ අවස්ථා ද්විත්වයක් හා නිදහස් පහරවල් ද්විත්වයක් ද ලැබුණු නමුත් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැත.

අමතර කාලයේ පළමු අර්ධය: ක්‍රොඒෂියාව 02 – 01 රුසියාව

රුසියානු කණ්ඩායමේ කාලය සමඟ සටන ඇරඹුණු අතර තරගාවලියේ තව දුරටත් රැඳී සිටීමට මීළඟ මිනිත්තු 15ව තුල ඔවුන්ට ගෝලයක් අත්‍යවශ්‍යම විය.

VIDA තරගයේ පීඩනය සම්පූර්ණයෙන්ම සත්කාරකයින්ගේ පැත්තට හැරවීමට සමත් විය

113 වන මිනිත්තුවේ දී රුසියාවට දඬුවම් පහර චතුරශ්‍රයේ කොනක සිට නිදහස් පහරක් හිමි වූ අතර Dzagoevගේ විශිෂ්ට පන්දු යොමු කිරීම FERNANDES දක්ෂ ලෙස දැල තුලට යොමු කළේ රුසියානු ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු තව දුරටත් රඳවා තබා ගනිමිනි.

FERNANDES නොසිතූ ලෙස තරගය නැවත රුසියාව දෙසට හැර වීමට සමත් විය

අමතර කාලය අවසානයේ: රුසියාව 02 – 02 ක්‍රොඒෂියාව

තරගය දඬුවම් පහර කරා ඇදී ගිය අතර රුසියාවට තිබූ විශාලම වාසිය වූයේ ක්‍රොඒෂියානු ගෝල රකින්නා ආබාධයකට ලක්වී සිටීමයි.

පළමුව දඬුවම් පහර ලබා ගැනීමේ අවස්ථාව රුසියාවට හිමි වූ අතර SMOLOV පළමු රුසියානු දඬුවම් පහර අපතේ යැව්වේය. BROZOVIĆ ක්‍රොඒෂියාව වෙනුවෙන් පළමු දඬුවම් පහර සාර්ථක කරගත්තේය. (0-1)

DZAGOEV රුසියාව වෙනුවෙන් දෙවන දඬුවම් පහර සාර්ථක කරගද්දී KOVAČIĆගේ උත්සාහය රුසියානු ගෝල රකින්නා akinfeev දක්ෂ ලෙස ආරක්ෂා කළේය. (1-1)

රුසියාව වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළ FERNANDES රුසියාවේ තෙවන දඬුවම් පහර අපතේ යවද්දී MODRIĆ ගේ ප්‍රහාරය ගෝල රකින්නාගේ ද වැදී ගෝල රාමුවේ ද වැදී දැල තුලට ගියේ ක්‍රොඒෂියාවට පෙරමුණ ගෙන දෙමිනි. (1-2)

Sergei Ignashevich සිව්වැනි රුසියානු දඬුවම් පහර සාර්ථක කරගත් අතර VIDA ද සිව්වැනි ක්‍රොඒෂියානු දඬුවම් පහර සාර්ථක කරගත්තේ තරගයේ ප්‍රතිඵලය අවසන් දඬුවම් පහර කරා ගෙන එමිනි. (2-3)

KUZIAEV ඉතා වැදගත් පස්වැනි රුසියානු දඬුවම් පහර සාර්ථක කර ගත් අතර RAKITIĆ දක්ෂ ලෙස ක්‍රොඒෂියානු දඬුවම් පහර සාර්ථක කර ගත්තේ රුසියානු කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද දමමිනි. (3-4)

ඒ අනුව ක්‍රොඒෂියානු කණ්ඩායම එංගලන්තය සමඟින් දෙවන අවසන් පූර්ව තරගයේ දී තරග වදිනු ඇත.

අවසන් ලකුණු තත්වය: රුසියාව 2 (3) – 2 (4) ක්‍රොඒෂියාව   

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • රුසියාව – CHERYSHEV 31′, FERNANDES 113’
  • ක්‍රොඒෂියාව – KRAMARIĆ 39′ ,VIDA 101′

උරුමක්කාරයෝ ලෝක කුසලානයට තවත් පියවරක් ළං වෙති

තරගය Samaraහි Samara ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර 1962 වසරට පසුව ලෝක කුසලානයකට එක්වූ අත්දැකීම අඩුම එංගලන්ත ලෝක කුසලාන සංචිතය මෙය වන අතර ඊයේ තරගය ජය ගැනීමත් සමඟ වසර 28කට පසු ලෝක කුසලාන අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබන්නට ඔවුන් සමත් විය. අවසන් වරට එංගලන්ත කණ්ඩායමක් අවසන් වරට අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලැබුවේ 1990 දීය.

තරගයේ පළමු අර්ධයේ පැහැදිලි අවස්ථා නිර්මාණය කර ගැනීමට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර කණ්ඩායම් දෙකේම මැදපෙළ ක්‍රීඩකයින් තරගයේ ග්‍රහණය සියතට ගෙන තිබුණි.

තරගයේ 28 වන මිනිත්තුව තෙක්ම කණ්ඩායම් දෙකම ගෝලයක් සඳහා උත්සහ කර තිබුණේ එක් ඉලක්කගත අවස්ථාව බැගින් වූ නමුත් 30 වන මිනිත්තුවේ උදා වූ අනගි අවස්ථාවකින් තරගයේ පෙරමුණට පැමිණීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගාවලිය පුරා ‘corner’ අවස්ථා සාර්ථක කර ගනිමින් ගෝල හතරක් ලබාගෙන තිබූ එංගලන්ත ක්‍රීඩකයින්ගේ හිස් නැවත වරක් ක්‍රියාත්මක වූ අතර Ashley Youngගේ පන්දු යොමු කිරීමක් නිසි ලෙස ඉහල යමින් ලබාගත් MAGUIRE දක්ෂ ලෙස පළමු එංගලන්ත ගෝලය වාර්තා කර ගැනීමට සමත් විය.    

MAGUIRE ස්වීඩන් ගෝල රකින්නාට කිසිවක් කිරීමට අවකාශ ඉතිරි කළේ නැත

44 වන මිනිත්තුවේ දී එංගලන්තයේ STERLING හට ඉතා පහසු අවස්ථාවක් හිමි වූ අතර දිගු පන්දු යොමු කිරීමකින් යොමු වූ පන්දුව ස්වීඩන් ආරක්ෂක ක්‍රීඩකයින්ගෙන් මිදී ඔහු ඉදිරියට රැගෙන ගිය නමුත් ඉදිරියට පැමිණි ස්වීඩන් ගෝල රකින්නා ස්වීඩන් ආරක්ෂකයින් පැමිණෙන තුරු පන්දුව වෙනතකට යොමු කරන්නට සමත් විය.

STERLING නිසැක ගෝලයක් අපතේ යැව්වේය

පළමු අර්ධය: එංගලන්තය 01 – 00 ස්වීඩනය

දෙවන අර්ධය ආරම්භයේ සිටම ස්වීඩන් ක්‍රීඩකයින් ගෝලයේ හිඩැස පුරවා ගැනීමට ප්‍රබල උත්සහයක් දැරූ නමුත් තරගය පුරා විශිෂ්ට ක්‍රීඩා විලාසයක නිරත වූ එංගලන්ත ගෝල රකින්නා, PICKFORD දෙවරක්ම ස්වීඩන් ක්‍රීඩකයින් ආපසු හරවා යවන්නට සමත් විය.

46 වන මිනිත්තුවේ දී ස්වීඩන් ක්‍රීඩකයෙකු හිසෙන් එල්ල කළ ප්‍රහාරයක් හා 61 වන මිනිත්තුවේ දී තවත් ස්වීඩන් ප්‍රහාරයක් ගුවනේ පාවී ගිය PICKFORD ව්‍යර්ථ කළේ ස්වීඩන් උත්සාහයන් අපතේ යවමිනි.

PICKFORD එසේ සිය දැල් රැකීමෙන් කණ්ඩායම් ආරක්ෂා කරද්දී, ස්වීඩන් ආරක්ෂකයින්ගෙන් මිදී Jesse Lingard යොමු කළ පන්දුව කිසිවෙකුගේ බාධාවකින් තොරව Dele දැල වෙත යොමු කළේ ස්වීඩන් ක්‍රීඩකයින් සෑහෙන පසු පසට ඇද දමමිනි.

මේ යොවුන් ක්‍රීඩක Dele ගේ පළමු ලෝක කුසලාන ගෝලයයි

71 වන මිනිත්තුවේ දී ද නැවත එංගලන්තය ඉතා ආසන්න ස්වීඩන් ආක්‍රමණයකින් මුදවා ගැනීමට PICKFORD සමත් වූ අතර BERGගේ ප්‍රහාරයක් දක්ෂ ලෙස ගෝල රාමුවේ ඉහළින් ඉවතට තල්ලු කරන්නට ඔහු සමත් විය.

PICKFORD ස්වීඩන් සිහින ගෝල රාමුවෙන් ඉවතට තල්ලු කර දැම්මේය

අනතුරුව ඉතා ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩකයෝ 28 වසරකට පසු ලෝක කුසලාන අවසන් පූර්ව වටයක සිය අසුන වෙන්කර ගැනීමට සමත් විය.

අවසාන ලකුණු තත්වය: එංගලන්තය 02 – 00 ස්වීඩනය

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • එංගලන්තය – MAGUIRE 30’, DELE 59’

(photo-FIFA.com/Getty images)

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<