පොලිස් භටයන්ගේ ප්‍රහාරයෙන් නාවික හමුදාවට වේදනාබර පරාජයක්

223
Police SC v Navy SC

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ අවසන් සති අන්තය නිමා කරමින් අද (17) සත්කාරක නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ප්‍රතිවාදී පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 17-26ක් ලෙස විශිෂ්ට ජයක් අත්කර ගැනීමට උදාර සූරියප්පෙරුම ප්‍රමුඛ පොලිස් කණ්ඩායම සමත් විය.

මහනුවර ආධිපත්‍ය හැව්ලොක් හමුවේ සුනුවිසුනු වෙයි

ඩයලොග් අන්තර් සමාජය ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයට තවත් සතියක් ඉතිරිව තිබිය දී මේ….

ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් හයවැනි සහ හත්වැනි ස්ථානවල රැඳෙමින් මෙම තරගයට අවතීර්ණ වූ නාවික හමුදා සහ පොලිස් කණ්ඩායම් හට මෙවර තරගවාරයේ දී අපේක්ෂා කළ අයුරින් සාර්ථක වීමට අවකාශ නොලැබුණු නිසාවෙන් මෙම තරගය ජයග්‍රාහී මානසිකත්වයෙන් නිමා කරමින් සුපිරි වටයේ තරග සඳහා හොඳ ආරම්භයක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන කණ්ඩායම් දෙකම තරග බිමට පිවිසුණි.

පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙවර තරගවාරය පුරා කැපී පෙණෙන දස්කම් පෑමට සමත් වූ සචිත් සිල්වාගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර මුල් විනාඩි කිහිපය තුල දී පොලිස් කණ්ඩායම තරගයට ප්‍රවේශ වීමට ප්‍රබල උත්සාහයන් කිහිපයක්ම දැරූ නමුත් ඔවුන් අතින් දිගින් දිගටම සිදු වූ අතපසුවීම් නාවික හමුදා කණ්ඩායම තම වාසියට හරවා ගැනීමට සමත් විය.

ඒ අනුව පොලිස් කණ්ඩායම off-side වරදට හසුකර ගැනීමට සමත් වීමත් සමඟම උදාකරගත් දඬුවම් පහර අවස්ථාව සාර්ථක කර ගැනීමට නාවික හමුදා කණ්ඩායමේ චතුර සෙනෙවිරත්න සමත් වූයේ තරගයේ ලකුණු පුවරුව ප්‍රථම වතාවට ක්‍රියාත්මක කිරීමේ ගෞරවය තම කණ්ඩායමට හිමිකර දෙමිනි. (නාවික 03 – 00 පොලිස්)

නාවික හමුදා කණ්ඩායමට තම ලකුණු තත්වය ඉහළ නංවා ගැනීමට අවස්ථා කිහිපයක්ම උදා වූවත් ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසාවෙන් එම පහසු අවස්ථාවන් සියල්ලම පාහේ මඟ හැරී යාම කැපී පෙනුණි.

ගැමුණු චේතියගේ වේගයෙන් ගුවන් සෙබළුන් අමාරුවේ වැටෙයි

දෙවන අර්ධයේ සුපිරි ප්‍රහාරයකින් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36-26ක..

16 වැනි මිනිත්තුවේ දී නාවිකයන් අතින් සිදු වූ අත්වැරදීමකින් උපරිම ඵල නෙලාගත් පොලිස් භටයින් කණ්ඩායම් දෙකේ ලකුණු තත්වය සමකිරීමට සමත් වූ අතර එවර පොලිස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජනිත් චන්දිමාල් සාර්ථකව පන්දුව ගෝල කණු අතරින් පා කර හැරීමට සමත් විය. (නාවික 03-03 පොලිස්)

ලැබූ පන්නරය එලෙසම රඳවා ගනිමින් යලිත් වතාවක් ඉතා සාර්ථක ආක්‍රමණයක් දියත් කළ පොලිස් ක්‍රීඩකයින් නාවික මුරකාවල් බිඳ හෙළමින් උත්සාහක දිනුම් රේඛාව අභිබවා ගමන් කළේ තරගයේ ප්‍රථම වතාවට සිය කණ්ඩායම පෙරමුණට ඔසවා තබමිනි. මොහාන් ධනුෂ්කගේ සුරතින් එම උත්සාහක දිනුම වාර්තා වූ නමුත් එහි ප්‍රවර්තනය නිසියාකාරව ගෝල කණු අතරින් එල්ල කිරීමට ජනිත් චන්දිමාල් අපොහොසත් විය. (නාවික 03-08 පොලිස්)

එල්ල වූ අභියෝගයට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ නාවික හමුදා කණ්ඩායම පොලිස් උත්සාහක දිනුමේ උණුසුම වියැකී යන්නටත් මත්තෙන් ප්‍රතිප්‍රහාරයන් දියත් කළේ යලිත් වතාවක් තරගයේ සුක්කානම සිය ග්‍රහණයට නතුකර ගනිමිනි. අපූර්ව කණ්ඩායම් උත්සාහක දිනුමක චමත්කාරය ප්‍රේක්ෂකයින් හට විඳ ගැනීමට ඉඩප්‍රස්තාව සැකසූ විරාජ් කොළඹආරච්චිගේ එම උත්සහයත්, චරිත් සෙනෙවිරත්නගේ සාර්ථක ප්‍රවර්තනයත් සමඟින් නාවික හමුදාව නැවතත් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. (නාවික 10-08පොලිස්)

යුධ හමුදාවට පාඩම් උගන්වමින් CHට තියුණු ජයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 14 වැනි සති අන්තයේ ආරම්භය සනිටුහන් කරමින්..

පළමු අර්ධය නිමා වීමට මිනිත්තු දෙකකට ආසන්න කාලයක් ඉතිරිව තිබිය දී නැවියන් වෙත තවත් ප්‍රබල තර්ජනාත්මක අභියෝගයක් එල්ල කිරීමට පොලිස් භටයන් සමත් වූ අතර අද දිනයේ දී පොලිස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට තරග රටාවක නියැලෙමින් සිය දායකත්වය නොමඳව කණ්ඩායම වෙත ලබා දුන් ෆීජී ජාතික වුනිවෝසා තම සද්දන්ත සිරුරේ වාසිය මනාව ප්‍රයෝජනයට ගනිමින් නාවික පසුපෙළ ක්‍රීඩකයින් නිරුත්තර කළේ පොලිස් කණ්ඩායමට තරගයේ දෙවන උත්සාහක දිනුමේ සතුට සැමරීමට අවකාශය සලසා දෙමිනි. එහි අමතර ලකුණු දෙක කණ්ඩායමේ ගිණුමට බැර කරමින් ඉතා හොඳ මානසිකත්වයකින් යුතුව ප්‍රථම අර්ධය අවසන් කිරීමට පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය. (නාවික 10-15 පොලිස්)

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 10 (1T,1C,1P) – 15 (2T,1C,1P) පොලිස් ක්‍රීඩා සමාජය

ප්‍රථම අර්ධයේ තරග රටාව නැවත වරක් ක්‍රියාත්මක කරමින් නාවික හමුදාව වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට පොලිස් කණ්ඩායම සමත් වූ අතර එල්ල වූ එම පීඩනය නිසියාකාරව  මැඩපවත්වා ගැනීමට නාවිකයන් අපොහොසත් වූ හෙයින් ඔවුන් අතින් අත්වැරදීම් කිහිපයක්ම සිදුවෙනු දක්නට ලැබීය.

59 වන විනාඩියේ දී පොලිස් ක්‍රීඩකයෙකු ඉලක්ක කරගෙන සිදු කළ අනතුරුදායක tackle කිරීමක් නිසාවෙන් නාවික හමුදා පිලේ නිරෝශ් පෙරේරා වෙත කහ කාඩ්පතක් ලබා දෙමින් විනාඩි 10ක කාල සීමාවකට පිටියෙන් ඉවත්කර තැබීමට විනිසුරුවරයා තීරණය කරන ලදි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එක් ක්‍රීඩකයෙකුගේ සේවය අහිමි වී යාම නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ආක්‍රමණයක් දියත් කිරීමට අවියක් ලෙස යොදා ගත් පොලිස් කණ්ඩායම උත්සාහක දිනුම් රේඛාව ආසන්නයටම පන්දුව රැගෙන යමින් තෙවන උත්සාහක දිනුමට මාන බැලූ නමුත් එම අවස්ථාවේ දී තරමක උපායශීලී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් ඔවුන්ට ලැබුණු දඬුවම් ගෝල අවස්ථාවෙන් සෑහීමට පත්වීමට නායක සූරියප්පෙරුම තීරණය කළේය. ජනිත් චන්දිමාල්ගේ වෑයම සාර්ථක වූයේ පොලිස් කණ්ඩායමේ ලකුණු පරතරය 8ක් දක්වා ඉහළ දමමිනි. (නාවික 10 – පොලිස් 18)

ලකුණු පිපාසවකින් තරග වැදි පොලිස් ක්‍රීඩකයින් එම දඬුවම් ගෝලයෙන් පමණක් සෑහීමට පත් නොවූ අතර ඔවුන් ලද සෑම අවස්ථාවක දී ම නාවික හමුදා බලකඳවුර අඩපණ කිරීමට දැඩි උත්සහයක නිරත විය.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් ක්‍රීඩා සමාජයේ මුවම්මර් ඩීන් තවත් එක් උත්සාහක දිනුමකින් නාවිකයන් හට සංග්‍රහ කළේ ඔවුන්ට තරගයට අවතීර්ණ වීමට තිබූ සියලුම බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි. එහි ප්‍රවර්තනය ගෝලයේ ලකුණු ද්විත්වය ලබා ගැනීමේ අවස්ථාව චන්දිමාල් අතින් මඟහැරී ගියේය. (නාවික 10-22 පොලිස්)

හරිත හමුදාව මෙවර ලීගයත් රත් කරන්නට සූදානමින්

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව මතක් කළ සැණින් මතකයට එන කණ්ඩායම් ද්විත්වයක් තිබෙනවා…

සිය සත්කාරක පිටියේ දී ම අත්විඳින්නට සිදු වන අමිහිරි පරාජයේ වේදනාව යම්තාක් හෝ තුනීකර දමමින් තම අභිමානය උදෙසා සටන් වැදුණු නාවික හමුදා කණ්ඩායම අවසන් විනාඩි 10 තුල දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූයේ නිරෝෂ් පෙරේරාගේ සහ චරිත් සෙනෙවිරත්නගේ වෑයම සාර්ථක වීම නිසාවෙනි. (නාවික 17-23 පොලිස්)

තරගය නිමා වීමට විනාඩි කිහිපයක කාලයක් ඉතිරිව තිබිය දී තරගයේ ජය නියත වශයෙන්ම සහතික කරගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් වූයේ ජනිත් චන්දිමාල් වෙත ලැබුණු දඬුවම් ගෝල අවස්ථාව ඔහු විසින් සාර්ථකව නිසි ඉලක්කය වෙත එල්ල කිරීමට සමත් වීම නිසාවෙනි. (නාවික 17-26 පොලිස්)

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 17 (2T,2T,1P) – 26 (3T,1C,3P) පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – ඉමෝසි වුනිවෝසා (පොලිස් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

නාවික හමුදා ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – විරාජ් කොළඹආරච්චිගේ 1, නිරෝෂ් පෙරේරා 1
  • ප්‍රවර්තන ගෝල – චතුර සෙනෙවිරත්න 2
  • දඬුවම් ගෝල – චතුර සෙනෙවිරත්න 1

පොලිස් ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – ඉමෝසි වුනිවෝසා 1,මොහාන් ධනුෂ්ක 1,මුවම්මර් ඩීන්
  • ප්‍රවර්තන ගෝල – ජනිත් චන්දිමාල් 1
  • දඬුවම් ගෝල – ජනිත් චන්දිමාල් 3

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<