හැව්ලොක් ක්‍රීඩකයෝ ගුවන් හමුදාවේ තටු සිඳියි

196

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වන සති අන්තයේ අවසන් තරගය අද (27) පැවැත්වුණේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය අතරයි. ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් හැව්ලොක් ක්‍රීඩකයින් මේ තරගය ජය ගත්තේ ලකුණු 35-06ක් ලෙසයි.

පොලීසිය නිරුත්තර කරමින් CH තවත් පියවරක් ඉදිරියට

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ එකොළොස් වන සති අන්තයේ ආරම්භය සනිටුහන් …

ගුවන් හමුදා ක්‍රීඩක ගයන්ත ඉද්දමල්ගොඩගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කරන හිටපු වෙස්ලි ක්‍රීඩක දයාන් සබාර් සාර්ථකව එම පන්දුව ලබා ගන්නා ලදි.

කණ්ඩායම් දෙකම අතපසුවීම් රාශියක් කළ නමුත් ප්‍රබල හැව්ලොක් ඉදිරිපෙළ Line out අවස්ථාවල දී සිතූ තරම් සාර්ථක නොවීම විශේෂත්වයක්.

ශෝකට් ලාහිරි හා උමේෂ් මධුශාන් දක්ෂ ධාවනයක යෙදෙමින් උමේෂ් මධුශාන් පස්වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියත් දැඩි වෙහෙසක් ගත් ගුවන් හමුදා ක්‍රීඩකයෝ ඔහුව Held Up අවස්ථාවකට හසු කර ගැනීමට සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

13 වන මිනිත්තුවේ දී ඔවුන්ට තවත් ආසන්න අවස්ථාවක් ගිලිහි ගියේ හැව්ලොක් නායක නිරෝෂන් ප්‍රනාන්දුගේ අලංකාර හරස් පා පහරක් පිටිය කොණේ සිටි සඳුන් හේරත්ට රැක ගැනීමට නොහැකි වීමත් සමඟයි. කෙසේ වෙතත් ඉතා ඉක්මනින් නැවත ක්‍රියාත්මක වූ ඔවුන් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කළේ චාමර දාබරේ ගේ සුරතිනි. රීසා මුබාරක් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (හැව්ලොක් 07-00 ගුවන්)

18 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමට හොඳ පිළිතුරක් ලබා දෙමින් ගුවන් සෙබළුන් Rolling Maul ආකාරයට උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගියත් විනිසුරු තීරණය කළේ එය Held Up අවස්ථාවක් බවයි.

ගයන්ත ඉද්දමල්ගොඩ ගුවන් හමුදාව වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ 20 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කරමිනි. (හැව්ලොක් 07-03 ගුවන්)

ගුවන් හමුදා ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කරන ලදි. කෙසේ වෙතත් අවාසිය වාසියකට හරවා ගනිමින් මිනිත්තු 10කට වඩා ගුවන් හමුදා ක්‍රීඩකයින් හැව්ලොක් අර්ධයේ කල් ගත කළත් අවාසනාවන්ත අතපසුවීම් නිසා ඔවුන්ට ධවල රේඛාව ඉක්මවා යාමට හැකියාව ලැබුණේ නැත.

පෙරළිකාර යුධ හමුදාවට CR&FC අර්ධ ශතකයකින් සංග්‍රහ කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් විශේෂ තරගයක් අද (26) CR&FC…

ශෝකට් ලාහිර් සුපිරි ධාවනයක් සමඟින් පන්දුව සිය අර්ධයේ සිට ගුවන් හමුදා අර්ධයටම රැගෙන ආ අතර රීසා මුබාරක් දක්ෂ ලෙස එම උත්සාහය ලකුණු බවට පත් කළේ දෙවන හැව්ලොක් උත්සාහක දිනුමත් වාර්තා කරමිනි. රීසා එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගැනීමට සමත් විය. (හැව්ලොක් 14-03 ගුවන්)

35 වැනි මිනිත්තුවේ දී නුවන් පෙරේරා ඩ්‍රොප් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහක කළත් එම අවස්ථාව අසාර්ථක වූ අතර ඉන්පසුව ඔවුන්ට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගෙන ලකුණු පුවරුව දිගටම උණුසුම්ව තබා ගන්නට ගයන්ත සමත් විය. (හැව්ලොක් 14-06 ගුවන්)

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 06 (2P) – 14 (2T, 2C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ පළමු වෙඩි මුරය තැබුවේ හැව්ලොක් ක්‍රීඩා සමාජයයි. මෙවර ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රියාත්මක වූ අතර ශෝකට් ලාහිර් පහසුවෙන් ගුවන් හමුදා ආරක්ෂක වළලු අතරින් රිංගා යද්දී රීසා පන්දුව ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (හැව්ලොක් 21-06 ගුවන්)

මිනිත්තු 15කට වඩා ඉතා ඉවසීමෙන් උත්සහ කිරීමෙන් අනතුරුව හැව්ලොක් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණ සඳහා වන සිට සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කළේ සඳුන් හේරත් විසිනි.

රග්බි ක්‍රීඩකයෙකුට සහ භෞත චිකිත්සක වරයෙකුට වැඩ වරදී

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක ලසිඳු ඉෂාන් කරුණාතිලක සහ මහනුවර ක්‍රීඩා සමාජයේ භෞත …

මිතුන් හපුගොඩ පිටිය පුරා සිය ඉදිරිපෙළ හා පසුපෙළ සම්බන්ධීකරණය කරමින් දක්ෂ ලෙස පන්දුව පියවරෙන් පියවර ඉදිරියට රැගෙන ගිය අතර ඔහුගේ පන්දු යොමු කිරීමක් සඳුන් ලකුණු බවට පරිවර්තනය කරන ලදි. රීසා අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (හැව්ලොක් 28-06 ගුවන්)

මිතුන් හපුගොඩ හා සඳුන් හේරත් අතර පන්දු යොමු කිරීමකින් උත්සාහක දිනුමක් කරා යාමට තිබූ අවස්ථාවක් ඔවුන් දෙදෙනාගේ නිසි සන්නිවේදනයක් නොමැති බව නිසා අහිමි වුනත් 66 වැනි මිනිත්තුවේ දී ශෝකට් ලාහිර් සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළේ නිසි වේලාවට නිසි ස්ථානයේ සිටිමිනි. රීසා සිය 100% වාර්තාව පවත්වා ගනිමින් පස්වැනි ප්‍රවර්තනයත් සාර්ථක කර ගැනීමට සමත් විය. (හැව්ලොක් 35-06 ගුවන්)

68 වන මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩකයෙකු හා හැව්ලොක් ක්‍රීඩක මිතුන් හපුගොඩ යන දෙදෙනාම කහ කාඩ් පතක් පෙන්වා විනිසුරු පිටියෙන් ඉවත් කළේ ඔවුන් දෙදෙනා කලහකාරී ලෙස හැසිරුණු බවට සහය විනිසුරුවරුන් විසින් සංඥා කිරීමත් සමඟයි.

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 35 (5T, 5C) – 06 (2P) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය   

ThePapare.com තරගයේ වීරයා – ශෝකට් ලාහිර් (හැව්ලොක්)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – ශෝකට් ලාහිර් (2T), රිසා මුබාරක් (1T, 5C), සඳුන් හේරත් (1T), චාමර දාබරේ (1T)
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – ගයන්ත ඉද්දමල්ගොඩ (2P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<