ඔමල්කගේ උත්සාහය වතුරේ යවමින් හැව්ලොක් ඉදිරිපෙළ කුසලානය උදුරා ගනී

708

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි සති අන්තයේ තවත් තරගයක් අද (19) පැවැත්වුණේ ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CR&FC කණ්ඩායම අතරයි. ලකුණු 31-24ක් ලෙස තියුණු සටනකින් CR&FC ක්‍රීඩා සමාජය පරාජය කළ හැව්ලොක් ක්‍රීඩකයෝ 2018-19 තරග වාරය සඳහා Mathysz කුසලානය තමන් සතු කර ගැනීමට සමත් විය. තරගය පැවැත්වුණේ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දීයි.

මේ වන විට අර්බුද රැසකට මුහුණ දී සිටි CR&FC ක්‍රීඩා සමාජය අද ක්‍රීඩා කළේ ඔවුන්ගේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන තරින්ද රත්වත්ත රහිතව වීම විශේෂත්වයකි. ගතවුණු සතියේ දී ඔවුන්ගේ පුහුණුකරු වූ නිල්ෆර් ඊබ්‍රහිම් මහතා ද කණ්ඩායම හැර ගිය අතර ඒ වෙනුවට පත් කෙරුණු මොහොමඩ් මුෂ්ටාක් මහතා මේ තරගයේ දී පුහුණුකරු තනතුරේ වැඩ බලන ලදි. CR&FC කණ්ඩායමට අද නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ක්‍රීඩා කිරීම ද විශේෂත්වයකි.

CR පුහුණුකරු ඉල්ලා අස්වේ

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී ප්‍රබල CR&FC කණ්ඩායම නොසිතූ ලෙස අසාර්ථක වීමත් සමඟ CR ප්‍රධාන පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහිම් මහතා…

CR වෙනුවෙන් සිය පළමු තරගය ක්‍රීඩා කළ ස්ටීවන් සිවරාජ් සාර්ථකව තරගය ආරම්භ කළේ හැව්ලොක් කණ්ඩායමට ආරම්භයේම තරමක පීඩනයක් යොදමිනි. පළමු මිනිත්තු පහ පුරා හැව්ලොක් අර්ධයේම රැඳෙමින් ඔවුන් ප්‍රබල ආක්‍රමණයක නිරත වුනත් රීසා රෆයිඩීන් පන්දුව හඹා ගොස් ලකුණු රැස් කිරීමට කළ උත්සහයක් දිනුක් අමරසිංහ ව්‍යර්ථ කිරීමට සමත් විය.

Mathysz කුසලානය සඳහා තරග වැදුණු කණ්ඩායම් දෙකෙන් පළමු වරට ලකුණු රැස් කිරීමට අවස්ථාවක් ලැබුණේ CR කණ්ඩායමට 10 වැනි මිනිත්තුවේ දීයි. කෙසේ වෙතත් තරින්ද රත්වත්තගේ හිස්තැන පිරවූ රීසා රෆයිඩීන් හට එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

පළමු මිනිත්තු පහළොව පුරා CR ක්‍රීඩකයින් ප්‍රබල හැව්ලොක් ඉදිරිපෙළ මර්දනය කිරීමට සමත් වූ අතර 18 වැනි මිනිත්තුවේ දී නිරෝෂන් ප්‍රනාන්දු පන්දුව පිටියේ කොනට පා පහරකින් යොමු කරමින් සිය Wing ක්‍රීඩකයා යොදා ගෙන ලකුණු රැස් කිරීමට උත්සහ කළත් එම උත්සාහය සාර්ථක වූයේ නැත.

මිනිත්තුවෙන් මිනිත්තුව තරගය ඉතා උණුසුම් වූ අතර 22 වැනි මිනිත්තුවේ දී විනිසුරු හැව්ලොක් ක්‍රීඩක ෂාරෝ ප්‍රනාන්දු කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට තීරණය කර ලදි. ඉන් උපරිම වාසිය ලබාගත් ඔමල්ක ගුණරත්න ප්‍රමුඛ CR ක්‍රීඩකයින් තරගයේ පළමු වෙඩිමුරය තැබූ අතර රීසා රෆයිඩීන් අමතර ලකුණු ද එකතු කිරීමට සමත් විය. (CR 07-00 හැව්ලොක්)

29 වැනි මිනිත්තුවේ දී පන්දුවත් සමඟ උත්සාහක දිනුමක් කරා යෑමට ඉදිරියට ඇදුණු හැව්ලොක් නායක නිරෝෂන් ප්‍රනාන්දු නැවැත්වීමට CR ක්‍රීඩක සිවරාජ් නීති විරෝධී බාධා කිරීමක් සිදු කළ හෙයින් විනිසුරු හැව්ලොක් කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් ලබා දීමට තීරණය කරන ලදි. (CR 07-07 හැව්ලොක්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

CR ක්‍රීඩක ෂෙනාල් ඩයස්ටත් කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළේ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ගණන සම කරමිනි.

38 වැනි මිනිත්තුවේ දී සිය පසුපෙළට පණ දුන් හැව්ලොක් ක්‍රීඩකයින් අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකින් පසු තරගයේ පෙරමුණ ගත්තේ චාමර දාබරේගේ සුරතිනෙි. නිරෝෂන් ප්‍රනාන්දු, රීසා මුබාරක් හා සඳුන් හේරත්ගේ අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසු චාමර ලකුණු රැස් කරද්දී රීසා මුබාරක් අලංකාර ලෙස අමතර ලකුණු එකතු කරන්නට සමත් විය.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 14 (1T, 1C, 1PT)- 07 (1T, 1C) CR&FC කණ්ඩායම

දෙවන අර්ධයේ ආරම්භක ප්‍රහාරය එල්ල කළේ හැව්ලොක් ක්‍රීඩා සමාජයයි. ලසිඳු ඉශාන් පන්දුව ලබාගෙන පා පහරක් දී ඉදිරියට එල්ල කළ අතර පන්දුව හඹා ගිය දිනුක් අමරසිංහ CR ඉදිරිපෙළ ක්‍රීඩක උදාර ගයාන් පසු කර ගොස් ලකුණු රැස් කිරීමට සමත් විය. රීසා මුබාරක් හට අමතර ලකුණු රැස් කිරීමට සමත් වූයේ නැත. (CR 07-19 හැව්ලොක්)

CR ක්‍රීඩකයින් දෙවතාවක්ම ඉතා පහසු ලෙස හැව්ලොක් ක්‍රීඩකයින්ට ලකුණු රැස් කිරීමට අවස්ථාව හිමි කර දීම ඔවුන්ට ඉතා අවාසියක් විය.

52 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩක උමේෂ් මධුශාන් හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු තීරණය කළේ CR ක්‍රීඩකයින්ට සුළු වාසියක් අත් කර දෙමිනි.

CH එල්ල කළ අභියෝගය හමුවේ CR නිරුත්තර වෙයි

2018/19 ඩයලොග්’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ සත්කාරක CH&FC කණ්ඩායම සහ CR&FC කණ්ඩායම අතර කොළඹ තුරඟ තරග පිටියේ දී අද (12) පැවැත්වුණු…

තරගයේ CR කණ්ඩායමට ලකුණු රැස් කිරීමට අවශ්‍යම වූ මොහොතක ක්‍රියාත්මක වූ ඔමල්ක ගුණරත්න හැව්ලොක් ආරක්ෂක ක්‍රීඩකයින් හතරක දෙනෙකු මර්දනය කරමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ CR නැවතත් තරගයට රැගෙන එමිනි. Line out අවස්ථාවකින් ලැබුණු පන්දුවක් ඔහු දක්ෂ ලෙස ඉදිරියට රැගෙන ගිය අතර රීසා රෆයිඩීන් අමතර ලකුණු එකතු කළේ CR&FC ක්‍රීඩා සමාජය දිගටම තරගයේ රඳවා ගනිමිනි. (CR 14-19 හැව්ලොක්)

කාලය අපතේ නොයැවූ CR පසුපෙළ නැවතත් ක්‍රියාත්මක වූ අතර මෙවර සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කළේ රීසා රෆයිඩීන් විසිනි. චමෝද් ප්‍රනාන්දුගේ සුපිරි ධාවනයක් රීසා අලංකාර ලෙස ලකුණු බවට පරිවර්තනය කළේ 66 වැනි මිනිත්තුවේ දීය. අමතර ලකුණු එකතු කිරීමට නම් ඔහුට හැකි වූයේ නැත. (CR 19-19 හැව්ලොක්)

අනතුරුව 68 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් හා CR ක්‍රීඩකයින් දෙදෙනෙකුටම කහ කාඩ්පත් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළේ ඔවුන් දෙදෙනාම විනය විරෝධී ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙනි.

CR ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අතරින් ක්ෂණිකව රිංගා ගිය වේගවත් ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක මිතුන් හපුගොඩ 71 වැනි මිනිත්තුවේ දී ඉතා පහසු උත්සාහක දිනුමක් වාර්තා කළේ CR ක්‍රීඩකයින් පහසුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයට පූජා කළ තෙවන උත්සාහක දිනුමක් වාර්තා පොත්වලට එක් කරමිනි. එහි ප්‍රවර්තනයත් මුබාරක් සාර්ථක කර ගන්නා ලදි. (CR 19-26 හැව්ලොක්)    

මහනුවර ක්‍රීඩකයින් පරාජයේ වේදනාව මකාගනී

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ දෙවන වටයේ තුන්වැනි සතියේ තවත් තරගයක් සඳහා මහනුවර ක්‍රීඩා සමාජය සමඟින් පොලිස් ක්‍රීඩා සමාජය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ…

අවසන් මිනිත්තු හතේ තරගය ඉතා උණුසුම් වූ අතර දුෂ්මන්ත ප්‍රියදර්ශන ප්‍රමුඛ හැව්ලොක් ඉදිරිපෙළ සිය සුපුරුදු අවිය වූ Rolling Maul භාවිතා කරමින් ලකුණු රැස් කළේ තරගය සම්පූර්ණයෙන්ම තමන් වෙත ලියා ගනිමිනි. මුබාරක් එහි ප්‍රවර්තනය සාර්ථක කළේ නැත. (CR 19-31 හැව්ලොක්)

තරගයේ අවසානය තවත් උණුසුම් කරමින් මිතිල පෙරේරා 77 වැනි මිනිත්තුවේ දී නැවතත් CR වෙනුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ අවසන් මිනිත්තු දෙකේදීත් CR බලාපොරොත්තු තරගයේ රඳවා ගනිමිනි. කෙසේ වෙතත් එහි ප්‍රවර්තනය සාර්ථක නොවූ අතර CR කණ්ඩායමට තවදුරටත් තරගයේ නිරත වීමට විනිසුරුගේ ඔරලෝසුවේ කාලය ඉතිරි වී තිබුණේ නැත.

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 31 (5T, 3C) – 24 (4T, 2C) CR & FC කණ්ඩායම

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • CR&FC – ඔමල්ක ගුණරත්න (2T), රීසා රෆයිඩීන් (1T, 2C), මිතිල පෙරේරා (1T)
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – චාමර දාබරේ (1T), රීසා මුබාරක් (3C), දිනුක් අමරසිංහ (1T), මිතුන් හපුගොඩ (1T), දුෂ්මන්ත ප්‍රියදර්ශන (1T)   

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<