2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර ආරම්භ කරමින් යෙන් ෆූ පක්ස්ටන් අභියෝගතා පලිහ වෙනුවෙන් සත්කාරක යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය ඊයේ (04) තරග කළ අතර එම තරගයෙන් ලකුණු 32-50ක් ලෙස දැවැන්ත ජයක් අත්කර ගැනීමට නිරෝෂන් ප්‍රනාන්දු ප්‍රමුඛ හැව්ලොක් කණ්ඩායමට හැකි විය.

ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග කාලසටහන නිකුත් වෙයි

පසුගිය සති අන්තයේ දී (23) සාර්ථකව නිමාවට පත්වූ ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග එළඹෙන 2019 වසරේ ජනවාරි 04 වැනිදා යුධ හමුදා ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගය ආරම්භ කිරීමට මත්තෙන් කණ්ඩායම දෙකේම ක්‍රීඩකයෝ විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වමින් පසුගිය දා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ CR&FC ක්‍රීඩක කෝකිල සම්මන්දපෙරුම හට සිය ගෞරවය පුද කිරීමට අමතක නොකළහ.

ගුවන් හමුදා ක්‍රීඩක ගයාන් සාලින්දගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර ආරම්භක විනාඩිය ගෙවී යාමටත් මත්තෙන් හැව්ලොක් ක්‍රීඩකයෙකුගේ අතින් පන්දුව ගිලිහී ඉදිරියට පතිත වීමත් සමඟම යුධ හමුදා කණ්ඩායම scrum අවස්ථාවක් උදාගත් කරගත්තේ සිය පළමු උත්සාහක දිනුමට අවශ්‍ය මඟ පාදාගනිමිනි.

අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් යුධ හමුදා ක්‍රීඩක රිස්වි මොහොමඩ් සහ අශාන් බණ්ඩාර අලංකාර පන්දු හුවමාරුවකින් අනතුරුව පන්දුව ධනුෂ්ක තල්වත්ත අතට සුරක්ෂිතව යොමු කළ අතර ඔහු පිටියේ වම්පස කෙළවරින් ධවල රේඛාව පසුකරගෙන ගියේ තරගයේ ප්‍රථම වතාවට යුධ හමුදා ලකුණු පුවරුව සක්‍රිය කරමිනි. කෙසේ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ගයාන් සාලින්ද අසමත් විය. (ගුවන් 05 – හැව්ලොක් 00)

මන්දගාමී ක්‍රීඩා විලාසයකින් තරගයට අවතීර්ණ වූ හැව්ලොක් කණ්ඩායම සිය නිහැඬියාව බිඳ දමමින් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවකට අවතීර්ණ වීමත් සමඟම යුධ හමුදා ආරක්ෂක පෙළ යම් පීඩනයකට හසු වූ බවක් දිස්විය.

ඒ අනුව 6 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ හැව්ලොක් ක්‍රීඩක මිතුන් හපුගොඩ ඉතා වේගවත් ධාවනයකින් අනතුරුව පන්දුව යුධ හමුදා ගෝල සීමාවට මීටර් 5ක් පමණ ආසන්නයට රැගෙන ආ අතර අදියර කිහිපයකින් අනතුරුව නායක නිරෝෂන් පෙරේරාගේ ග්‍රහණයට නතු වූ පන්දුව ඔහු විසින් අලංකාර පා පහරක් මඟින් පිටියේ දකුණු පස කෙළවරේ සිටි රීසා මුබාරක් වෙත ගුවනින් යොමු කළේය.

එම පන්දුව ඉතා ආරක්ෂිතව ග්‍රහණය කරගත්‍ රීසා තමා ඉදිරියේ වූ උත්සාහක දිනුම් රේඛාව පහසුවෙන් ඉක්මවා ගියේ හැව්ලොක් කණ්ඩායම විසින් දිනයේ වාර්තා කළ පළමු උත්සාහක දිනුම සිය නම ඉදිරියේ සටහන් කරගනිමිනි. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඔහු අපොහොසත් විය. (යුධ 05-හැව්ලොක් 05)

දුක සතුට සම සමව රැඳුණු ගෙවුණු වසරේ රග්බි පිටිය

තවත් වසරක් ගෙවී යාමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. ගෙවුණු වසරේ ශ්‍රී ලාංකීය රග්බි පිටියේ මොකද වුණේ? මේ සූදානම රග්බි පිටියේ මතකයන් යළිත් අලුත් කර ගන්නයි.

යුධ හමුදාවට තරගයේ පෙරමුණ ගැනීමට යලිත් වතාවක් ඉඩ ප්‍රස්තාව සැලසුණේ 10 වන විනාඩියේ දී හැව්ලොක් ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමක් නිසා හිමි වූ දඬුවම් පහර සාර්ථක කරගැනීමට ගයාන් සාලින්දට හැකි වීමත් සමඟිනි. (යුධ 08-හැව්ලොක් 05)

ආබාධයකට ලක්වීමෙන් අනතුරුව තරගාවලියේ ප්‍රථම අදියරේ අවසන් තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව හැව්ලොක් ක්‍රීඩක රීසා මුබාරක්ට අහිමි වී ගියත් නැවතත් සිය සුපුරුදු රිද්මයට ඉතා ඉක්මනින් අනුගත වූ ඔහු 13 වැනි මිනිත්තුවේ දී මධ්‍ය රේඛාව අසල සිට පන්දුව රැගෙන ඉතා වේගවත් ධාවනයක යෙදෙමින් යුධ හමුදා අන්තයට ඇතුළු වූ අතර ඔහුට මනා සහයක් ලබා දෙමින් සෙසු ඉදිරි පෙළ ක්‍රීඩකයින් පන්දුවේ වාසිය අඛණ්ඩව තමන් සතුකර ගත්තේ යුධ හමුදා ආරක්ෂක බැම්ම තරමක් බිඳ දමමිනි.

ඉන්පසු ක්‍රියාත්මක වූ එශාන් ආරියපාල තමා හට ලැබුණු පන්දුව ක්ෂණයෙන් ගෝල සීමාවෙන් එපිටට ගෙන ගියේ හැව්ලොක් කණ්ඩායමට තරගයේ පළමු වතාවට පෙරමුණ හිමිකර දෙමිනි. එවර පන්දුව ගෝල කණු අතරින් පා කර හරිමින් ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට රීසා සමත් විය. (යුධ 08-12 හැව්ලොක්)

ඉන් අනතුරුව එළඹුණු කාල සමයේ දී කණ්ඩායම් දෙකම තරගයේ පාලනය තමන් වෙත නතු කරගැනීමට දැඩි උත්සාහයක නිරත වූවත් දෙපිලේම ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි නිසාවෙන් ලැබුණු එකදු අවස්ථාවක් හෝ සාර්ථකව නිමා කිරීමට කිසිවකුටත් නොහැකි විය.

නමුත් යුධ හමුදා කණ්ඩායමේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයින්ගේ දුර්වල ස්ථාන හඳුනා ගනිමින් දිගින් දිගටම ආක්‍රමණ දාමයකින් සංග්‍රහ කළ හැව්ලොක් ක්‍රීඩකයෝ විනාඩි 5ක් වැනි කෙටි කාලයක් තුල දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් වූයේ යුධ හමුදා කණ්ඩායමේ තරගය පිළිබඳ තිබූ බලාපොරොත්තු බිඳ හෙළමිනි.

24 වන විනාඩියේ දී දිනුක් අමරසිංහ විසින් යොමු කළ පන්දුව ප්‍රතිවාදි ක්‍රීඩකයින් මුලාකරමින් සෙනාල් දීලක අතට පත්වූයේ නියත උත්සාහක දිනුමකට මංපෙත් පාදමිනි. ඉන් අනතුරුව හැව්ලොක් ලකුණු සටහන තවදුරටත් ශක්තිමත් කිරීමට දුෂ්මන්ත ප්‍රියදර්ශන   සමඟ එක්වූ මිතුන් හපුගොඩ සමත් වූයේ තරගයේ වාර්තා කර දර්ශනීයම උත්සාහක දිනුම වාර්තා කරමිනි. ප්‍රවර්තන දෙකෙන් රීසාට සාර්ථක කරගැනීමට හැකි වූයේ එක් අවස්ථාවක් පමණි. (යුධ 08-හැව්ලොක් 24)

>> තරගයේ ඡායාරූප ඇල්බම සඳහා පිවිසෙන්න <<

දැඩි පීඩනයකට හසුව සිටි යුධ හමුදා කණ්ඩායමට තරමක හෝ අස්වැසිල්ලක් ගෙන දීමට 31 වන විනාඩියේ දී සුධාරක දික්කුඹුර විසින් ලබාගත් උත්සාහක දිනුමට හැකි විය. නමුත් එහි ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වය අවාසනාවන්ත අයුරින් යුධ හමුදා කණ්ඩායමෙන් ගිලිහී ගියේ ගයාන් සාලින්ද විසින් එල්ල කළ පන්දුව කෙළින්ම ගෝල කණුවේ වැදී ඉවතට ඇදී යාම නිසාවෙනි. (යුධ13-හැව්ලොක් 24)

ප්‍රථම අර්ධය නිමා වීමට විනාඩි දෙකක කාලයක් ඉතිරිව තිබිය දී යුධ හමුදා ගෝල සීමාවට මීටර් 5ක් පමණ ආසන්නයෙන් line out අවස්ථාවක් උදාකර ගැනීමට හැව්ලොක් ක්‍රීඩකයින් සමත් වූ අතර අසුරු සැණින් ලද අවකාශයෙන් උපරිම ඵල නෙලා ගැනීමට අස්මීර් ෆාජුඩීන් ප්‍රමුඛ හැව්ලොක් ඉදිරිපෙළට හැකි වූයේ rolling maul උත්සහයේ තිබූ ජවය යුධ මුරකාවල් සුනුවිසුනු කිරීමට තරම් ප්‍රබල වූ බැවිනි. (යුධ 13-හැව්ලොක් 31)

CH&FCට ඕස්ට්‍රේලියාවෙන් රග්බි ක්‍රීඩකයෙක්

සති දෙකකට ආසන්න කාලයක නිහැඬියාව බිඳ දමමින් හෙට (04) යළිත් ජීවය ලබන ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් සැමගේ අවධානය…

පළමු අර්ධය – යුධ හමුදා ක්‍රීඩා සමාජය 13(2T,1P)  – 31(5T,3C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

තුසිත සේනානායක හැව්ලොක් අන්තය වෙත විදුලි වේගයෙන් ඇඳී ගියේ ප්‍රතිවාදි ආරක්ෂක පෙළ ක්‍රීඩකයින්ගේ සිත් තුල යම් චකිතයක් ඇති කරමිනි. රිස්වි විසින් ලබා දුන් පන්දුව උත්සාහක දිනුමක් බවට පත් කිරීමට තරගයේ දෙවන වරටත් ක්‍රියාත්මක වූ ධනුෂ්ක තල්වත්තට හැකි විය. ගයාන් සාලින්ද විසින් එල්ල කළ ප්‍රවර්තන පා පහර එවරද අසාර්ථක විය. (යුධ 18-හැව්ලොක් 31)

ලද පන්නරයෙන් තරගයේ දිශානතිය තමන් දෙසට හරවා ගැනීමට දැඩි සටනක යුධ හමුදා ක්‍රීඩකයින් නියැලුනත් එම උත්සාහයන් සියල්ල හැව්ලොක් ආරක්ෂක වළල්ල හමුවේ ව්‍යර්ථ වී ගියේ දුෂ්මන්ත ප්‍රියදර්ශන ඇතුළුව හැව්ලොක් පසුපෙළ ක්‍රීඩකයින්ගේ සූක්ෂ්ම ක්‍රීඩා විලාසය නිසාවෙනි.

ඉන් සුළු වේලාවකට පසු ඉතා වේගවත් ආක්‍රමණයක් දියත් කළ සිතුම් පීරිස් දැකුම්කළු off load කිරීමක් මඟින් මිතුන් හපුගොඩ හට පන්දුව භාර කළේ තම කණ්ඩායම කිසිදු ආකාරයකින් පසු නොබසින බවට යුධ භටයින් සිහිකරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට රීසා සමත් විය. (යුධ18-හැව්ලොක් 38)

ලකුණු පිපාසාවකින් පෙළුණු හැව්ලොක් කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් ලකුණු සටහනට එක් කළේ සඳුන් හේරත් සහ නිරෝෂන් ප්‍රනාන්දු සුසංයෝගය සාර්ථක වූ නිසාවෙනි. සඳුන් හේරත් විසින් අලංකාර පාද චලනයන් කිහිපයක් භාවිත කරමින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අන්දමන්ද කරමින් ඉදිරියට ඇදී ගිය අතර ඔහුගේ සහයට පැමිණි නායක නිරෝෂන් ප්‍රනාන්දු සදුන්ගේ විශිෂ්ට වෑයමට අගයක් එක් කළේ ලබාගත් උත්සාහක දිනුමෙන් හැව්ලොක් ලකුණු තීරුව තවත් වර්ණවත් කරමිනි. එවර ද රීසාගේ අමතර ලකුණු එක්කිරීමේ උත්සාහය සාර්ථක විය. (යුධ18-හැව්ලොක් 45)

CR&FC ක්‍රීඩකයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු මෙන්ම වර්තමාන CR&FC කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වන කෝකිල සම්මන්දපෙරුම පිළිබඳ දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික රග්බිලෝලී හදවත්…

තවදුරටත් තමන් මෙම තරගය කෙසේ හෝ ජය ගත යුතුය යන දැඩි මතයේ පිහිටමින් ක්‍රියාත්මක වූ අධිෂ්ඨානශීලී යුධ සෙබළුන් දියත් කළ ආක්‍රමණයක් සාර්ථක කරගැනීමට අශෝක ජයලාල් සමත් විය. එහි අමතර ලකුණු ගයාන් සාලින්ද විසින් එක් කළේය. (යුධ 25 – හැව්ලොක් 45)

මෙවර තරග වාරයේ කිසිදු කණ්ඩායමකට ලකුණු 50 සීමාව වෙත ගමන් කිරීමට නොහැකි වූ අතර එය අතීතයට භාර කරමින් හැව්ලොක් ක්‍රීඩක රීසා මුබාරක් විසින් උත්සාහක දිනුමක් තම නමින් සටහන් කරගත්තේ හැව්ලොක් මුළු ලකුණු සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ දමමිනි. (යුධ 25-හැව්ලොක් 50)

එම උත්සහයත් සමඟින් තරගයේ ජය නියත වශයෙන්ම තහවුරු කරගැනීමට ජයග්‍රාහී හැව්ලොක් ක්‍රීඩකයින් සමත් වූවද සිය ගෞරවය වෙනුවෙන් අවසන් මොහොත දක්වා සටන් කළ යුධ භටයින් 79 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ප්‍රවර්තිත උත්සාහක දිනුමත් සමඟින් ලකුණු පරතරය ලකුණු 18ක් දක්වා සීමා කිරීමට සමත් විය.

එහි දී යුධ හමුදාව වෙනුවෙන් තෙවන උත්සාහක දිනුම ද වාර්තා කළ ධනුක තල්වත්තගේ වෑයම කාගෙත් පැසසුමට ලක්වුනු අතර අත්දැකීම් බහුල ගයාන් සාලින්දගේ අතින් ප්‍රවර්තන උත්සාහයන් කිහිපයක්ම මඟහැරී යාම ද කැපී පෙනුණි. ඉසුරු මැදගෙදර විසින් යුධ හමුදාව වෙනුවෙන් අවසන් ප්‍රවර්තන ගෝලය සාර්ථක කරගත්තේය. (යුධ 32-50 හැව්ලොක්)

හැව්ලොක් කණ්ඩායමේ ඉදිරි පෙළ මෙන්ම පසුපෙළ සාර්ථකත්වය තරගයේ ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් වූ අතර අරවින්ද කරුණාරත්න, සුගත් නානායක්කාර සහ තිරූෂ අධිකාරම් වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගේ සේවය ආබාධ තත්වයන් හේතුවෙන් අහිමි වී යාම යුධ හමුවේ පසුබෑමට දැඩිව බලපෑම් එල්ල කළ බව නොරහසකි.

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ තවත් එක් තරගයක් අද (05) දිනයේ දී ක්‍රියාත්මක වීමට නියමිතයි. CR&FC කණ්ඩායම පොලිස් කණ්ඩායමට එරෙහිව සටන් වඳින මෙම තරගයේ උණුසුම එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

අවසන් ලකුණු තත්වය – යුධ හමුදා ක්‍රීඩා සමාජය 32 (3T,2C) – 50 (3T,2C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – මිතුන් හපුගොඩ(හැව්ලෝක් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

යුධ හමුදා ක්‍රීඩා සමාජය
උත්සාහක දිනුම් – ධනුෂ්ක තල්වත්ත 3, සුධාරක දික්කුඹුර 1, අශෝක ජයලත් 1
ප්‍රවර්තන ගෝල – ගයාන් සාලින්ද 1, ඉසුරු මැදගෙදර 1
දඬුවම් ගෝල – ගයාන් සාලින්ද 1

හැව්ලොක් ක්‍රීඩා සමාජය
උත්සාහක දිනුම් – රීසා මුබාරක් 2, මිතුන් හපුගොඩ 2, නිරෝෂන් ප්‍රනාන්දු 1, එශාන් ආරියපාල 1, අස්වීර් ෆජුඩීන් 1, සෙනාල් දීලක 1
ප්‍රවර්තන ගෝල – රීසා මුබාරක් 5

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<