තියුණු ජයක් සමඟින් හැව්ලොක් සතුටින් විසිර යයි

258

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සති අන්තය නිමා කරමින් පැවති තරග ත්‍රිත්වයෙන් එක් තරගයක් අද (23) කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර එහි දී සත්කාරක ගුවන් හමුදා ක්‍රීඩා සමාජ  කණ්ඩායමට එරෙහිව ලකුණු 25-31ක් ලෙස ඉතා තියුණු ජයක් අත්කර ගැනීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.

තිළිණ විජේසිංහ අපරාජිත වාර්තාව නූලෙන් බේරා ගනී

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය අවසන් කරමින්…

පසුගිය සති අන්තයේ නිමාවත් සමඟම හැව්ලොක් කණ්ඩායමේ අපරාජිත තරග වාර්තාව ඔවුන් අතින් ගිලිහී ගියේ ප්‍රබල මහනුවර කණ්ඩායම හමුවේ ලැබූ පරාජය නිසාවෙනි. කෙසේ වුවත් සහභාගි වූ තරග 6න් 5ක් ජය ගනිමින් ඉතා හොඳ මානසික මට්ටමකින් තරගයට පිවිසී ඔවුන් තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණ මෙම වසර ජයග්‍රහණයකින් අවසන් කිරීමේ අරමුණින් තරග පිටියට අවතීර්ණ විය.

සත්කාරක ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ලියැවී තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් වූ ඉරණමක්. තවමත් මෙම තරගවාරය තුල දී තම ප්‍රථම ජයග්‍රහණය සොයනා ගුවන් හමුදා ක්‍රීඩකයෝ අවස්ථා රැසක දී ඉතා හොඳින් තරග සඳහා අවතීර්ණ වුවත් ප්‍රතිවාදීන්ට එරෙහිව එම ගොඩනැගූ පීඩනය තරග අවසානය තෙක් පවත්වා ගැනීමට අපොහොසත් වීම නිසාවෙන් ජය ගැනීමට තිබූ තරග කිහිපයක් ඔවුන්ට අවාසනාවන්ත ලෙස අහිමි විය. නමුත් කෙසේ හෝ මෙම තරගය තමන් වෙත හරවා ගනිමින් තරගාවලියේ පළමු වටය ජයග්‍රහණය මානසිකත්වයෙන් අවසන් කිරීම ඔවුන්ගේ ද අභිලාෂය විය.

රග්බි විනිසුරුවෝ රත්මලාන ප්‍රතික්ෂේප කරති

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර නිමා වීමට…

ප.ව.4.00ට ගුවන් හමුදා පිළේ නියමුවා වන ගයන්ත ඉද්දමල්ගොඩගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර විනාඩි 3ක් ගත වීමටත් මත්තෙන් ගුවන් හමුදා ලකුණු පුවරුව සක්‍රිය කිරීමේ අනගි අවස්ථාවක් ගයන්තට හිමි වූයේ හැව්ලොක් කණ්ඩායම විසින් සිදු කළ අනවශ්‍ය බාධා කිරීමක් මඟින් ලැබුණු දඬුවම් පහරක් නිසාවෙනි. නමුත් ලැබුණු අවස්ථාවෙන් නිසි ඵල නෙලා ගැනීමට ගයන්ත අපොහොසත් වූයේ එල්ල කළ පහර ගෝල කණු අසලින් ඉවතට ඇඳී යාමත් සමඟිනි.

කෙසේවුවද ඉතා ආක්‍රමණශීලී මුහුණුවරකින් තරගයට අවතීර්ණ වූ ගුවන් හමුදා ක්‍රීඩකයෝ වැඩි කාලයක් වැය නොකරමින් ප්‍රථමයෙන්ම ලකුණු පුවරුවට ජීවය දුන් කණ්ඩායමේ ගෞරවය තමන් සතු කරගත්හ. එහි ප්‍රධාන භූමිකාවට පණ පෙවූ චාල්ස් ප්‍රවීන් හැව්ලොක් පිළේ දුර්වල පන්දු හුවමාරුවක් තම කණ්ඩායමේ වාසියට හරවා ගනිමින් ධවල රේඛාව පසු කරගෙන ගිය අතර එම අගනා උත්සහයට නිසි වටිනාකමක් ලබා දෙමින් ගයන්ත ඉතා පහසුවෙන්ම ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (ගුවන් 07 – 00 හැව්ලොක්)

පැමිණ සිටි හැව්ලොක් ආධාරකරුවන් මොහොතකට නිහැඬියාවේ ගිල්වමින් යලි ක්‍රියාත්මක වූ ගුවන් හමුදා කණ්ඩායම දිනයේ දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ උණුසුම් ගුවන් හමුදා ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේය. තරගයේ 9 මිනිත්තුවේ දී රුමේෂ් රාමදාස් සමඟ එක් වූ රම්සාන් අමිත් අලංකාර පන්දු හුවමාරු සහ පා චලන කිහිපයක් යොදා ගනිමින් හැව්ලොක් අන්තයේ මීටර් විසිදෙකේ රේඛාව තෙක් පන්දුව රැගෙන ගිය අතර ඉන්පසු සුදත් බණ්ඩාරගේ දෑතට ලැබුණු පන්දුව ඔහු විසින් සුරක්ෂිතව උත්සාහක දිනුම් රේඛාවෙන් ඔබ්බට ගෙන යාමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් අමතර ලකුණු කණ්ඩායමේ ගිණුමට බැර කිරීමට ගයන්ත දැරූ උත්සාහය ව්‍යර්ථ විය. (ගුවන් 12 – 00 හැව්ලොක්)

මෙතෙක් වේලා නිහඬව සිටි හැව්ලොක් කණ්ඩායම තමන්ට එල්ල කළ අභියෝගයට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කළේ තරගයේ 13 වැනි මිනිත්තුවේ දී ය. ලිස්ටන් ෆ්ලැන්ටි විසින් අපූර්ව උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූයේ තම සඟයන් දිගින් දිගට ගුවන් ක්‍රීඩකයින් වෙත ලබා දුන් පීඩනයේ ප්‍රතිඵලයක් වශයෙනි. ප්‍රින්ස් චාමර විසින් නිවැරදි ඉලක්කය වෙත ප්‍රවර්තන පා පහර දිශාගත කරන ලදි. (ගුවන් 12 – 07 හැව්ලොක්)

හැව්ලොක් ක්‍රීඩකයකු විසින් සිදු කල අනිසි බාධා කිරීමක් හඳුනා ගත් විනිසුරු ගුවන් ක්‍රීඩකයින් හට දඬුවම් පහරක් ලබා ගැනීමට අවකාශයක් සලසා දුන් අතර එයින් උපරිම ප්‍රයෝජනය ගත් ගයන්ත ලකුණු 3ක් තම කණ්ඩායමට එක් කළේය.(ගුවන් 15 – 07 හැව්ලොක්)

හැව්ලොක් ක්‍රීඩකයින්ට කන්ද උඩරටින් හොඳ සත්කාරයක්

බුවනෙක උඩන්ගමුවගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය හේතුවෙන් 2018 ඩයලොග්…

තමන් ඉක්මන් පිළිතුරක් ලබා නොදුන්නොත් එමඟින් තම කණ්ඩායමට අවාසි සහගත තත්වයක් නිර්මාණය වීමට ඉඩකඩ ඇති බව තේරුම් ගත් හැව්ලොක් පිළේ සිතුම් පීරිස් ගුවන් භටයින් කිහිප දෙනෙකු පෙරළා දමමින් ඉදිරියට ඇඳුණු අතර එයින් ලබාගත් පන්නරය සවියක් කර ගත් සිතුම් ඉතා වටිනා උත්සාහක දිනුමක් තම කණ්ඩායම වෙනුවෙන් සාර්ථක කරගත්තේය. ප්‍රින්ස් චාමර දිනයේ දෙවන සාර්ථක ප්‍රවර්තනය වාර්තා කිරීමට සමත් විය. (ගුවන් 15 – 14 හැව්ලොක්)

ඉන්පසු ගත වූ මිනිත්තු 10ක පමණ කාලය තුල දී කණ්ඩායම් දෙකම පන්දුව තම ග්‍රහණයට නතු කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වෙනු දක්නට ලැබුණු නමුත් හැව්ලොක් ක්‍රීඩකයින් ගුවන් කණ්ඩායමට සාපේක්ෂව  තරමක ආක්‍රමණශීලී ස්වභාවයක් පෙන්නුම් කළේ ළඟ එන උත්සාහක දිනුමක පෙර නිමිති පහළ කරමිනි. එම අනාවැකිය සැබෑවක් කරමින් 30 වන විනාඩියේ දී චාමර දාබරේ විසින් පිටියේ වම් පස කෙළවරින් උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගයේ ප්‍රථම වතාවට හැව්ලොක් කණ්ඩායමට ලකුණු සටහනේ පෙරමුණ හිමිකර දෙමිනි. යලි ක්‍රියාත්මක වූ ප්‍රින්ස්ගේ පාදය අසීරු ප්‍රවර්තනයක් පහසුවෙන් සාර්ථක කර ගැනීමට සමත් විය. (ගුවන් 15 – 21 හැව්ලෝක්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

හැව්ලොක් ක්‍රීඩකයින් ලබාගත් ලකුණු වාසිය කණපිට පෙරළු ගුවන් හමුදාව ප්‍රථම අර්ධය නිමා කරමින් විවේක කාලය වෙත ගමන් කරේ නැවතත් තමන්ගේ නොපසු බසිනා උත්සහය පිළිබඳ හැව්ලොක් ක්‍රීඩකයන් හට පාඩමක් කියා දෙමිනි. රුමේෂ් සහ තිලිණ අතර සිදු වූ අගනා පන්දු හුවමාරුවේ අවසරයෙන් හැව්ලොක් ගෝල සීමාව ආසන්නයට පන්දුව ගෙන යාමට ගුවන් කණ්ඩායම සමත් වූ අතර අද දිනයේ ඔවුන්ගේ වඩාත්ම සාර්ථක ක්‍රීඩකයා බවට පත් වූ චාල්ස් ප්‍රවීන් තම දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ හැව්ලොක් ආරක්ෂක වැට කඩුලු බිඳ හෙළමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ගයන්තට හැකි විය. (ගුවන් 22 – 21 හැව්ලෝක්)

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 22 (3T,2C,1P) – 21 (3T,3C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භය ඉතා උද්වේගකර  මුහුණුවරක් ගත් අතර දෙපිලේම ක්‍රීඩකයෝ සිය උපරිම ජවය යොදමින් ප්‍රතිවාදීන් වෙත පීඩනයක් එල්ල කිරීමට වෑයම් කළහ.

ඒ අතරවාරයේ තරමක උණුසුම් වචන හුවමාරුවක් ගුවන් හමුදා නායක ගයන්ත සහ හැව්ලෝක් නායක නිරෝෂන් අතර සිදු වූ අතර විනිසුරු මැදිහත් වී එය සමථයකට පත් කිරීමෙන් අනතුරුව යලි තරගය ආරම්භ විය.

ගුවන් හමුදාව විසින් නොනවත්වා ආක්‍රමණ කිහිපයක් එල්ල කරමින් හැව්ලොක් මුරකාවල් අභිබවා යාමට උත්සහ කළ අතර එම ආක්‍රමණ මැඩලීමට දැරූ ප්‍රයත්නයක් අතරතුර දී හැව්ලොක් ක්‍රීඩකයින් අතින් අතපසු වීම් කිහිපයක් සිදු වූ අතර ඉන් එක් අවස්ථාවක් යොදා ගනිමින් ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු ත්‍රිත්වයක් අත්පත්කර දීමට ගයන්තගේ දඬුවම් පහරට හැකි විය. (ගුවන් 25 – 21 හැව්ලොක්)

50 වන මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩකයින් තීරණාත්මක උත්සාහක දිනුමක් වාර්තා කළේ rolling maul අවස්ථාවක් උපයෝගී කරගනිමිනි. පන්දුව උත්සාහක දිනුම් රේඛාවට ඇතුළත භූමියේ ස්පර්ශ කිරීමේ කාර්‍යභරය සම්පූර්ණ කළේ අස්මීර් ෆජුඩීන් විසිනි. ප්‍රින්ස්ගේ පරිපූර්ණ පා පහරට පන්දුව ගෝල කණු අතරින් රිංගා යැවීමට හැකි විය. (ගුවන් 25 – 28 හැව්ලොක්)

ගුවන් හමුදා පිළේ මෙම තරගවාරයේ ප්‍රථම ජයග්‍රහණයේ සතුට විඳගැනීමට තිබූ ආසන්නතම අවස්ථාව ඔවුන්ගෙන් උදුරා ගත් හැව්ලොක් ක්‍රීඩක ප්‍රින්ස් චාමර මෙවර තරගවාරයේ තම කණ්ඩායමේ හයවැනි ජයග්‍රහණය තහවුරු කළේ 67 විනාඩියේ දී තමන් හට හිමි වූ දඬුවම් පහර ගෝල කණු අතරින් පා කර හරිමිනි. දිනයේ දී හිමි වූ සියලුම ප්‍රවර්තන සහ දඬුවම් පහර අවස්ථාවන් සාර්ථක කර ගත් ඔහු කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ඉතා කැපී පෙනෙන සේවයක් ඉටු කළේය. (ගුවන් 25 – 31 හැව්ලොක්)

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 25 (3T,2C,2P) – 31 (4T,4C,1P) හැව්ලෝක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – සිතුම් පීරිස් (හැව්ලෝක් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

ගුවන් හමුදාව ක්‍රීඩා සමාජය
උත්සාහක දිනුම් – චාල්ස් ප්‍රවීන් 2, සුදත් බණ්ඩාර 1
ප්‍රවර්තන ගෝල – ගයන්ත ඉද්දමල්ගොඩ 2
දඬුවම් ගෝල – ගයන්ත ඉද්දමල්ගොඩ 2

හැව්ලොක් ක්‍රීඩා සමාජය
උත්සාහක දිනුම් – ලිස්ටන් ෆ්ලැන්ටි 1, සිතුම් පීරිස් 1, චාමර දාබරේ 1, අස්මීර් ෆජුඩීන් 1
ප්‍රවර්තන ගෝල – චාමර ප්‍රින්ස් 4
දඬුවම් ගෝල – වාමර ප්‍රින්ස් 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<