බර එසවීමෙන් ඉන්දික පදක්කමක් දිනයි

440

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි ක්‍රියාත්මක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ බර එසවීමේ ඉසව්ව යටතේ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට ඉන්දික දිසානායක සමත් විය. මෙම පදක්කම් ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව දැනට දිනා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 3ක් බවට පත්ව තිබේ.

පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානයේ

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවරට දකුණට වන්නට පිහිටි ගෝල්ඩ් කොස්ට් නගරය කේන්ද්‍ර කර..

කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ තරග වැදුණු ඉන්දික ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 137ක් ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 160ක් ද වශයෙන් මුළු බර කිලෝග්‍රෑම් 297ක් ඔසවමින් අදාළ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

විසිඅට හැවිරිදි වියේ පසුවන ඉන්දික අදාළ බර පන්තිය යටතේ පුනේ හි 2015 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ තරගාවලියේ දී ද රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වී තිබේ.

ඉසව්වේ රන් පදක්කම වේල්සයේ ග්‍රේත් එවන්ස් දිනා ගනු ලැබූ අතර ඔහු හා ඉන්දික අතර වූ පරතරය වූයේ කිලෝග්‍රෑම් 3ක් වීම ද විශේෂත්වයකි. රන් පදක්කම් ලාභී එවන්ස් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේ දී ඉන්දකට වඩා කිලෝ 3ක් වැඩියෙන් එසවූ අතර ස්නැච් ක්‍රමය යටතේ ඉන්දිකට වඩා එක කිලෝවක් අඩුවෙන් එසවීම ද විශේෂත්වයකි.

මෙහි දී ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 163ක බරක් එසවීම සඳහා ඉන්දික සිය උපරිම උත්සාහය ගනු ලැබූව ද, එම අවස්ථා දෙකේ දී ම ඔහුගේ උත්සාහය ව්‍යර්ථ විය. යම් ලෙසකින් ඉන් එක් අවස්ථාවක සාර්ථක වීමට ඉන්දික සමත් වූවා නම් එම බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමේ අවස්ථාව ඔහුට උදාවනු ඇත. ලෝකඩ පදක්කම ඉන්දියානු ක්‍රීඩක දීපක් ලතීර් විසින් දිනා ගනු ලැබීය.

මෙම පදක්කමත් සමඟ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 12 වැනි ස්ථානයේ රැඳී සිටින අතර එංගලන්තය රන් පදක්කම් 6ක් රිදී 3ක් සහ රිදී 3ක් සමඟින් එහි පෙරමුණේ පසුවේ. සත්කාරක ඕස්ට්‍රේලියානු පිල රන් 5ක්, රිදී 4ක් සහ ලෝකඩ 6ක් දිනා ගනිමින් එහි දෙවැනි ස්ථානයේ පසුවේ.  

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<