පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය නිමා වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි පදක්කමේ අයිතිය තහවුරු කරමින්. කෙසේ වෙතත් එම පදක්කම රන් ද? රිදී ද? ලෝකඩ ද? යන්න තවමත් නිශ්චිතව කීමට හැකියාවක් නැත.

තෙවැනි දිනය නිමාවේ දී මෙත්සරණි පළඟ අවසන් සටනට

පළමු දින දෙක පුරාවටම ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සමස්ත සහභාගීත්වයේම සැනසීමට කරුණ වූ බර …

ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලයීය  ඉතිහාසයේ කාන්තාවක් බොක්සිං ක්‍රීඩාවෙන් පදක්කමක් දිනා ගන්නට මෙතෙක් සමත්ව සිටියේ නැත. අනූෂා කොඩිතුවක්කු 2014 ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලේ දී එම ඉලක්කය සපුරා ගන්නට බලාපොරොත්තුවෙන් සිටියත් ඇයට එම අවස්ථාව අහිමි වුනේ අනපේක්ෂිත මොහොතක මුහුණ දීමට සිදුවූ අනතුරක් හේතුවෙන්. නමුත් තවත් වසර 4 කට තම සැලසුම් සකස් කළ අනූෂා සිහිනය හඹා යාම අතහැර දැමුවේ නැත.

2016 වසරේ දී ඇයගේ සිහිනයට තවත් පහරක් එල්ල වන්නේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං අවසන් තරගයක දී හමු වූ ප්‍රතිවාදී ක්‍රීඩිකාවගේ නොමනා ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි ක්‍රීඩා විලාශයක් නිසා මතුවූ පාදයේ ආබාධයක් හේතුවෙනුයි. එම ක්‍රීඩිකාව අන් කිසිවෙක් නොව ඉන්දියානු ක්‍රීඩා කරළියේ ඉහළම චරිතයක් වන ‘ මේරි කොම් ‘ය.

මේරි කොම් යනු අන්ත දුගී පවුලක උපත ලබා සිය ධෛර්යයෙන් ලෝක ශූරතා රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩිකාවක් වන අතර ඇයගේ ජීවිත කතාව චිත්‍රපටයකට පවා නගා තිබේ. දෛවයේ සරදමකට මෙන් මෙවර ද අනූෂා කොඩිතුවක්කු සහ රන් හෝ රිදී පදක්කමක් අතර සිටින බාධකය බවට පත්ව සිටින්නේ මේරි කොම් ම ය.

අනූෂා මෙම පදක්කම් සිහිනය වෙත ළඟා වුණේ ඊයේ පැවති කාන්තා කිලෝග්‍රෑම් 45-48 බර පන්තියේ බොක්සිං අර්ධ අවසන් පූර්ව වටයේ දී කේමන් දූපත් කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණු බ්‍රැන්ඩි බාන්ස් ක්‍රීඩිකාව පරාජය කරමිනුයි. විශේෂත්වය වන්නේ පළමු වටය තුලදී ම අනූෂා සිය ප්‍රතිවාදිණියට තරගයෙන් ඉවත් වන ලෙසම පහර දීමට සමත් වීමයි.

මේ අනුව අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර ගත් අනූෂා හට මේ එළඹ තිබෙන්නේ සාග් ක්‍රීඩා උළෙලේ තමන්ට සිදු වූ සියල්ලටම දෑතේ ශක්තියෙන් පිළිතුරු දීමේ හොඳම අවස්ථාවයි.

”මේරි කොම් එක්ක ගහන එක එච්චර ලේසි නැහැ. එයා අවුරුදු ගානක ඉඳලා ලෝක ශූර ක්‍රීඩිකාවක්. ඒත් මගේ රටේ මිනිස්සුන්ගේ ශක්තියෙන් මම රන් පදක්කම කරා යන්න හයිය ලබා ගන්නවා. මේ ජයග්‍රහණය මගේ රට සහ රටේ මිනිසුන් වෙනුවෙනුයි.” අනූෂා ඊයේ තරගයෙන් පසු අදහස් දැක්වූයේ එලෙසින්.

අනිද්දා (11) ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් සමඟ පැවැත්වෙන අවසන් පූර්ව තරගයෙන් පරාජය වුවත් අනූෂා හට ලෝකඩ පදක්කමක අයිතිය අනිවාර්යයෙන්ම හිමි වීමට නියමිතයි.

මෙත්සරණි පළඟ අනුශූරතාව දිනයි

ශ්‍රී ලංකා ස්කොෂ් ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණය සනිටුහන් කරමින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ස්කොෂ් පළඟ අනුශූරතාව දිනා ගැනීමට මිහිලියා මෙත්සරණි සමත් විය.

පළඟ අවසන් තරගයේ දී ඇය පරාජයේ වුණේ 15 හැවිරිදි බාබඩෝස් ක්‍රීඩිකා මෙගන් බෙස්ට් හමුවේයි. කෙසේ වෙතත් තරග වට 3-1ක් ලෙස සටහන් වූ මෙම තරගයේ දී මෙත්සරණි හොඳ සටනක් දීමට සමත් වූ අතර 20 වන වියේ පසුවන ඇයගේ ක්‍රීඩාවේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට නිසි ක්‍රියාවලියක් සකස් වන්නේ නම් අනාගතයේ ස්කොෂ් ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගැනීම එතරම් අපහසු නොවනු ඇති.

බර එසවීමේ පිටිය

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊයේ ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් බර එසවීමේ ඉසව් සඳහා එක් වූ නමුත් පදක්කම් දිනා ගැනීමට ඔවුන්ගේ දක්ෂතා ප්‍රමාණවත් වූයේ නැත. පිරිමි කිලෝග්‍රෑම් 94 බර පන්තිය යටතේ තරග වැදුණු මධුශංක පීටර්ස් සිය ඉසව්වේ 8 වන ස්ථානයට පත් වෙද්දී කාන්තා කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් තරග වැදුණු චතුරිකා ප්‍රියන්තිට හිමි වුණේ 9 වන ස්ථානයයි.

තවත් බොක්සිං බලාපොරොත්තුවක්.

ඊයේ පැවති බොක්සිං තරග අතර ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් හිමි කර දෙන්නට පිරිමි කිලෝග්‍රෑම් 64 බර පන්තිය නියෝජනය කළ දිනිඳු සපරමාදු සමත් විය. එම බර පන්තියේ අවසන් ක්‍රීඩකයන් 16 දෙනාගේ වටයේ තරගයකට එක්වූ දිනිඳු හමුවේ පරාජය වුනේ නවසීලන්ත ක්‍රීඩක රිචර්ඩ් හැඩ්ලෝ ය. විනිසුරු තීරණ 4-1ක් ලෙස තම වාසියට දිනා ගත් ඔහු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට සමත් විය.

දිනිඳු හෙට (10) පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ දී නැමීබියානු ක්‍රීඩක ජෝනාස් ජෝනාස් සමඟින් තරග වැදීමට නියමිත අතර මෙම තරගය ජය ගත හොත් ඔහුට ද යම්කිසි පදක්කමක අයිතිය අනිවාර්යයෙන්ම හිමි වීමට නියමිත වේ.

අනෙකුත් තරග අතර

නවසීලන්තයට මලාවි දේශයෙන් අනපේක්ෂිත ප්‍රහාරයක්

ඉතිහාසයේ පළමු වරට ප්‍රබල නවසීලන්ත දැල්පන්දු කණ්ඩායම පරාජය කරන්නට මලාවි ක්‍රීඩිකාවන් සමත් විය. ‘බී’ කාණ්ඩය යටතේ පළමු වටයට අදාලව පැවති මෙම තරගයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 57-53ක් ලෙසයි. පළමු කාර්තු දෙක අවසන් වන විට ලකුණු 7ක් පසුපසින් සිටි මලාවී ක්‍රීඩිකාවන් තුන් වන කාර්තුවේ දී ලකුණු 17-09ක් ලෙස වාර්තා කරමින් ඉදිරියට පැමිණි අතර අවසන් කාර්තුවේ දී තවත් ඉදිරියට යමින් තම ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් විය.

දෙවරක් පොදු රාජ්‍ය මණ්ඩලීය දැල්පන්දු ශූරියන් වූ නවසීලන්තයට එම පරාජයත් සමඟ මෙවර අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට විශාල සටනක් දීමට සිදුව තිබේ.

හොකී ආධිපත්‍ය නැවත සොයන ඉන්දියාවෙන් පෙරළිකාර ජයක්

වරෙක ලොව ප්‍රබලතම හොකී කණ්ඩායමක් වූ ඉන්දියාව අභිබවා හොකී කරළියේ ඉදිරියට යන්නට බටහිර සහ යුරෝපා රටවල් සමත් වී සිටිය ද, පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ කාන්තා හොකී ‘ඒ’ කාණ්ඩයේ තරගයකින් ලොව අංක 2 ස්ථානයේ රැඳී සිටින එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවන්ට ඊයේ හැකියාව ලැබුණි.

මෙම තරගයේ ප්‍රතිඵලය සටහන් වුනේ ගෝල 2-1ක් ලෙසින්. මෙම ප්‍රතිඵලය එංගලන්ත ක්‍රීඩිකාවන්ගේ පදක්කම් බලාපොරොත්තුව ද අනතුරුදායක තත්ත්වයකට ඇද දමන්නට සමත් වී තිබේ.

තරග ජයග්‍රහණයට වැඩි යමක්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය තුල ජයග්‍රහණ වාර්තා කරන්නට එංගලන්ත කාන්තා සහ පිරිමි පැසිපන්දු කණ්ඩායම් දෙකම සමත් විය. නමුත් ඔවුන්ට සමරන්නට ජයග්‍රහණයට වඩා වැඩි යමක් තිබුණි.

කැමරූන් දේශය පරාජය කරමින් එංගලන්ත පිරිමි කණ්ඩායම අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමෙන් පසු ක්‍රීඩක ජමෙල් ඇන්ඩර්සන් ප්‍රේක්ෂකාගාරයේ සිට කණ්ඩායම දිරිමත් කරමින් සිටි තම මිතුරිය වූ ජෝර්ජියා ජෝන්ස් හට පිටිය වෙත ආරාධනා කරද්දී ඇය සිතන්නට ඇත්තේ ඡායාරූපයක් ගැනීම සඳහා ලැබුණු ආරාධනාවක් ලෙසයි. කෙසේ වෙතත් සිය කණ්ඩායම් සගයන් පිරිවරා සිටි ඇන්ඩර්සන් ජෝර්ජියා ඉදිරියේ දණින් වැටුණේ ඇය වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කරමින්.

රන් පදක්කම් 275ක් සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සටන ඇරඹේ

එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ එම ආර්යාව ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගි වන පොදු රාජ්‍ය …

”මේක මගේ හිතේ කලක පටන් තිබූ අදහසක්. දැන් මට ක්‍රීඩාව පිළිබඳ සම්පූර්ණයෙන් හිත යොමු ක‍රන්න පුළුවන්” ජෝර්ජියාගේ අතේ සිය විවාහ ගිවිසගනීමේ මුදුව පැළඳවීමෙන් අනතුරුව ජමෙල් ඇන්ඩර්සන් පැවසීය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය අවසන් වන විට පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව අභිබවා යන්නට තවත් රටවල් තුනක් සමත් වී සිටි අතර ඒ අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ15 වන ස්ථානයේ යි. සත්කාරක ඔස්ට්‍රේලියාව පෙරමුණ ආරක්ෂා කර ගනිද්දී, එංගලන්තය දෙවන ස්ථානයේත්, කැනඩාව තෙවන ස්ථානයේත් පසු වෙයි. මේ වන විට තෙවන ස්ථානය  කැනඩාවට ප්‍රබල අභියෝගයක් වෙමින් සිව්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

පස්වැනි දිනයේ සංක්ෂිප්ත වාර්තාවක් සමඟින් හෙට (10) හමුවෙමු. එකෙත් ඔබට ක්‍රීඩාශීලි දවසක්!

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<