ඉසිපතනයෙන් තර්ස්ටන් ක්‍රීඩකයින්ට අමතක නොවන සංග්‍රහයක්

1993

කොළඹ ඉසිපතන විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර 47 වැනි වරටත් පැවති අබ්දුල් ජබ්බාර් වාර්ෂික මහා රග්බි තරගය ලකුණු 50-07ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය අද (5) සමත් විය. තරගය කොළඹ හැව්ලොක් පාක් රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

47 වන අබ්දුල් ජබ්බාර් පලිහ කා හට ද?

සම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන කොළඹ ඉසිපතන විදුහල හා තර්ස්ටන් විදුහල අතර අබ්දුල් ජබ්බාර් පලිහ සඳහා…..

මෙතෙක් පැවති තරග 46න් තරග 44ක් ජය ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් වී ඇති අතර තර්ස්ටන් විදුහල ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

තරගයේ පළමු මිනිත්තුවේ සිය සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසුණු ඉසිපතන පසුපෙළ සිය වේගය භාවිතා කරමින් තර්ස්ටන් අර්ධය ආක්‍රමණය කළ අතර තෙවැනි මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් විය. සුපුන් තරුෂ එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර නායක මනිල්ක රුබේරු ප්‍රවර්තනය ගෝල කණු අතරින් යවන්නට අසමත් විය. (ඉසිපතන 05-00 තර්ස්ටන්)

5 වැනි මිනිත්තුවේ දී නැවත වරක් සිය පසුපෙළ භාවිතා කරමින් ඉසිපතන ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් සීමාව ආක්‍රමණය කළ නමුත් උත්සාහක දිනුම මත දී නායක මනිල්ක රුබේරු පන්දුව අතහැරීම නිසා ඉතා අසන්න අවස්ථාවක් ඉසිපතනයට අහිමි විය. එනමුත් දිගින් දිගටම තර්ස්ටන් ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කළ ඉසිපතන ක්‍රීඩකයෝ ‘Line Out’ අවස්ථාවක් සාර්ථක කරගෙන සිය ඉදිරිපෙළ මගින් පන්දුව ඉදිරියට ගෙන යමින් අටවැනි මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. ඉදිරිපෙළ ක්‍රීඩක උමේෂ් වර්ණපුර එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර මනිල්ක රුබේරු එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ඉසිපතන 12-00 තර්ස්ටන්)

කල්ගිය තරගයේ ජය වෙස්ලි විද්‍යාලයට

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ දී මහනුවර පැවති කලබලකාරී තත්වය…..

ටිකෙන් ටික තරගයට පිවිසුණු තර්ස්ටන් ක්‍රීඩකයෝ කෙමෙන් කෙමෙන් ඉසිපතන ක්‍රීඩකයෝ පසුපසට තල්ලු කර දැමූව ද නැවත වතාවක් පන්දුව ලබා ගත් ඉසිපතන පසුපෙළ පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසුව 20 වන මිනිත්තුවේ දී සුපුන් තරුෂගේ සුරතින් සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කළ (ඉසිපතන 17-00 තර්ස්ටන්) අතර ඉන් මිනිත්තු දෙකක ඇවෑමෙන් චමෝද් සඳරුවන්ගේ සුරතින් සිය සිව්වැනි උත්සාහක දිනුම ඉතා පහසුවෙන් වාර්තා කර ගැනීමට සමත් විය. මනිල්ක රුබේරු ඉන් පළමු ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අසමත් වූ නමුත් දෙවැන්න ඉතා පහසුවෙන් ගෝල කණු අතරින් යැවීමට සමත් විය. (ඉසිපතන 24-00 තර්ස්ටන්)

තර්ස්ටන් ක්‍රීඩකයින්ට කිසිදු අස්වැසිල්ලක් නොදෙමින් ඉතා පහසුවෙන් ඉසිපතන ක්‍රීඩකයින් නොමග යැවූ චමෝද් සඳරුවන් තරගයේ 30 වැනි මිනිත්තුවේ දී දෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර මනිල්ක රුබේරු එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (ඉසිපතන 31-00 තර්ස්ටන්)

A කාණ්ඩයට පියමන් කිරීමේ වටය ඇරඹේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන හා අවසාන අදියර එළඹෙන මැයි මස ආරම්භ වීමට ……

පළමු අර්ධය අවසාන වීමට මොහොතකට පෙර තර්ස්ටන් විදුහල් ක්‍රීඩකයෝ පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉසිපතන අර්ධය ආක්‍රමණය කිරීමට උත්සාහක දැරූව ද වේගවත් ඉසිපතන ක්‍රීඩකයින් හමුවේ ඔවුන්ගේ එම උත්සාහය ව්‍යර්ථ විය.

පළමු අර්ධය: ඉසිපතන විදුහල 31 – 00 තර්ස්ටන් විදුහල

දෙවන අර්ධය ආරම්භයේ අධිෂ්ඨානශීලීව තරගයට පිවිසුණු තර්ස්ටන් ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ යොදා ගනිමින් ඉසිපතන ක්‍රීඩකයින්ට හොඳ ආක්‍රමණයක් එල්ල කිරීමට සමත්වුවත්, ඉසිපතන ක්‍රීඩකයින්ගේ ප්‍රතිරෝධය හමුවේ අනගි අවස්ථාවක් ඔවුන්ට අහිමි විය. පන්දුව ඔවුන් අතේම තබාගෙන උත්සාහක දිනුම් සීමාවට යාමට උත්සහ කළත් දිගින් දිගටම ඔවුන් සිදු කළ අතපසු වීම් නිසා ඉසිපතනයට පන්දුව දිනා ගැනීම ඉතා පහසු විය.

පෙර අර්ධයේ මෙන් නොව වරින් වර තර්ස්ටන් ක්‍රීඩකයෝ ඉසිපතන අර්ධයට පිවිසීමට උත්සහ කළ ද අනගි ලෙස පන්දුව ලබාගත් ඉසිපතනයේ අංජන කුලසේකර අලංකාර ධාවනයක යෙදෙමින් දෙවන අර්ධය සඳහා පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. රේනුජ සිල්වා එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (ඉසිපතන 38-00 තර්ස්ටන්)

එනමුත් අධිෂ්ඨානශීලී ලෙස ක්‍රීඩා කළ තර්ස්ටන් ක්‍රීඩකයෝ තරගයේ 50 වැනි මිනිත්තුවේ දී නායක රිස්කාන්ගේ සුරතින් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ද ඔවුන් සමත් විය. (ඉසිපතන 38-07 තර්ස්ටන්)

ඉසිපතන විදුහල් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කහ කාඩ්පත් හිමිව තිබූ වාසිය කරට ගත් තර්ස්ටන් විදුහලේ ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුමක් කරා යෑමට උත්සහ කළ ද, මෙවර පසුපෙළ වෙනුවට ඉදිරිපෙළ යොදා ගනිමින් ඉසිපතන ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. නෙතුල් අතුකෝරාල එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර අංජන කුලසේකර හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (ඉසිපතන 43-07 තර්ස්ටන්)

කාලය අපතේ නොයැවූ ඉසිපතන ක්‍රීඩකයෝ නැවතත් සිය පසුපෙළ යොදා ගනිමින් අටවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර මනුල රත්නායක එම උත්සාහක දිනුම වාර්තා කළේය. අංජන කුලසේකර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (ඉසිපතන 50-07 තර්ස්ටන්)

>> තරගයේ ඡායාරූප සඳහා පිවිසෙන්න <<

64 වැනි මිනිත්තුවේ දී තර්ස්ටන් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත්වුවත් පන්දුව ‘Held Up’ අවස්ථාවකට ලක්වීම නිසා  විනිසුරු උත්සාහක දිනුම ලබා නොදුන් අතර පෙර කළ වරදම සිදු කළ ඔවුන් පහසුවෙන් ඉසිපතනයට පන්දුව උදුරා ගැනීමේ අවස්ථාව ලබා දුන්නේ නැවත වරක් පන්දුව ‘Knock On’ අවස්ථාවකට ලක් කරමිනි.

විනිසුරුගේ නලාව නාද වීමත් සමඟ 47 වැනි අබ්දුල් ජබ්බාර් කුසලානය ලකුණු 50-07ක් ලෙස ඉසිපතන විදුහල දිනා ගන්නා ලදි.

අවසාන ලකුණු තත්වය: ඉසිපතන විදුහල 50 (8T,5C) – 07 (1T,1C) තර්ස්ටන් විදුහල

ThePapare.com තරගයේ වීරයා: සුපුන් තරුෂ (ඉසිපතන)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ඉසිපතන විද්‍යාලය: සුපුන් තරුෂ (2T), චමෝද් සඳරුවන් (2T), මනිල්ක රුබේරු (3C), උමේෂ් වර්ණපුර (1T), අංජන කුලසේකර (1T,1C), නෙතුල් අතුකෝරාල (1T), මනුල රත්නායක (1T), රේනුජ සිල්වා (1C)
  • තර්ස්ටන් විද්‍යාලය: රිස්කාන් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<