දෙනුවන් හා කොශාන් ගෙන් ශතක ද්විත්වයක්

379

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තියුණු තරග කිහිපයක්ම අද (20) ක්‍රියාත්මක විය. ඒ  තරග අතුරෙන් කොමර්ෂල් ක්‍රෙඩිට්, DHT සිමෙන්ති ආයතනය හා MAS සිලුඒටා යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නා ලදි. මෙහි දී දෙනුවන් රාජකරුණා හා කොශාන් ජයවික්‍රම ශතක වාර්තා කර ගැනීමට සමත් විය.

මුණවීර හා දේශාන් දස්කම් අතරට

25 වන වරටත් පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවැත්වූ තරගවලින් කොමර්ෂල් ක්‍රෙඩිට් හා HNB කණ්ඩායම්..

කොමර්ෂල් ක්‍රෙඩිට් (B) හා සිංගර් ශ්‍රී ලංකා (A)

කොමර්ෂල් ක්‍රෙඩිට් පිළට ලකුණු 77ක ජයග්‍රහණයක් හිමි වු මෙම තරගය බී. ආර්. සී පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිංගර් කණ්ඩායම පළමුව පන්දු යවන ලදි.

අකීල් ඉන්හාම් හා අනුර ඩයස් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් පිළිවෙළින් ලකුණු 77ක් හා ලකුණු 51ක් ලබා ගැනීමට සමත් විය. ඔවුන් දෙදෙනා අර්ධ ශතකයන් වෙත පියමං කරන විට, සනිත් ද මෙල් නොදැවී ලකුණු 49*ක් ලබා ගන්නා ලදි. මලිත් ප්‍රනාන්දු නොදැවී ලකුණු 31*යි. පන්දු යැවීමේ දී චාමික මහේෂ් කඩුලු 2යි.

ලකුණු 289ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පසිඳු ඩිල්ශාන් නොදැවී ලකුණු 72*ක් රැස්කර ගත්තේ, සිංගර් පිලට ජයග්‍රහණය පිළිබඳව යම් බලාපොරොත්තුවක් දෙමිනි.

නමුත් ඔවුන්ට තරගය අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 211ක් වන අතර, මැදපෙළ සවිමත් කළ රාජිත ප්‍රියාන් ලකුණු 45ක් රැස්කර ගත්තේ වර්ණවත් පිතිකරණයක නිරත වෙමිනි. පන්දු යැවීමේ දී චමින්ද විදාණපතිරණ හා ප්‍රනීත් විජේසේන කඩුලු 2ක බැගින් දවා ගනිමින් කොමර්ෂල් ක්‍රෙඩිට් ජය තහවුරු කරන ලදි.

කොමර්ෂල් ක්‍රෙඩිට් (B) –  288/5 (50): අකීල් ඉන්හාම් 77, අනුර ඩයස් 51, සනිත් ද මෙල්  49*, මලිත් ප්‍රනාන්දු 31*, ප්‍රනීත් විජේසේන 25, චාමික මහේෂ් 2/38.

සිංගර් ශ්‍රී ලංකා (A) – 211/9 (50): පසිඳු ඩිල්ශාන් 72*, රාජිත ප්‍රියාන් 45, චමින්ද විදාණපතිරණ 2/25, ප්‍රනීත් විජේසේන 2/41.

DHT සිමෙන්ති ආයතනය හා මොබිටෙල් (A)

කාසියේ වාසිය ජයග්‍රහණය කළ DHT කණ්ඩායම මග්ගොන සරේ ගම්මාන පිටියේ දී පළමුව පන්දුවට පහර දෙන ලදි. මෙම තරගය ලකුණු 57කින් ජයග්‍රහණය කිරීමට DHT කණ්ඩායමට හැකි විය.

පන්දු 122ක් පමණක් වැය කරමින් ලහිරු ජයකොඩි දක්ෂ පිතිකරණයක නිරත වූයේ, ලකුණු 80ක් රැස්කර ගනිමිනි. දසුන් සෙනෙවිරත්න ලකුණු 44යි. පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන් ලකුණු 63කට කඩුලු 3ක් දවාලීමට සමත් විය. DHT කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 246කි.

ලකුණු 247ක අභියෝගයක් සහිතව පිටියට පැමිණි මොබිටෙල් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් ඉක්මනින්ම සිය ග්‍රහණයට ගැනීමට DHT කණ්ඩායම් පන්දු යවන්නන් සමත් විය.

නමුත් පසුව පිටියට පැමිණි කොශාන් ජයවික්‍රම ඉවසිලිමත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 104ක් ලබා ගත්තේ, සුපිරි ශතකයට ද හිමිකම් කියමිනි. අවසානයේ මොබිටෙල් කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 189කි. චරිත් ජයම්පති නොදැවී ලකුණු 34*ක් ලබාගෙන ක්‍රීඩා කළ ද, ඔවුන්ගේ කඩුලු සියල්ලම දැවී ගිය නිසා ඔවුන්ට මෙම තරගයේ දී පරාජය වන්නට සිදු විය.

DHT සිමෙන්ති –  246/10 (50): ලහිරු ජයකොඩි 80, දසුන් සෙනෙවිරත්න 44, ලහිරු සමරකෝන් 3/63 , ලක්ෂාන් ජයසිංහ 2/34, චාමික කරුණාරත්න 2/46.

මොබිටෙල් (A) – 189/10 (36.4): කොශාන් ජයවික්‍රම 104, චරිත් ජයම්පති 34*, චතුරංග ලක්මාල් 3/15, තිලාන් නිමේෂ් 2/38.

MAS සිලුඒටා (A) හා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (B)

කොළඹ මුවර්ස් පිටියේ දී නිමා වූ මෙම තරගය ලකුණු 119කින් ජයග්‍රහණය කිරීමට MAS කණ්ඩායමට හැකි විය. කාසියේ වාසිය දිනූ ජෝන් කීල්ස් පිල තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ජෝන් කීල්ස් ඇරයුමින් පිටියට පැමිණි MAS කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 256ක් රැස්කර ගත්තේය. එම ලකුණු පුවරුවට සවිමත් අඩිතාලමක් සකස් කළ දෙනුවන් රාජකරුණා නොදැවී ලකුණු 117*ක් ලබාගෙන අනර්ඝ පිතිකරණයක නිරත වූයේ, MAS පිලට සැනසිල්ලක් ගෙන එමිනි. චරණ නානායක්කාර ලකුණු 63යි. පන්දු යැවීමේ දී අක්තාබ් කාඩර් කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් අතරට එන ලදි.

කවීන් බණ්ඩාර කණ්ඩායමේ එක් අන්තයක් රැකගෙන නොදැවී ලකුණු 76*ක් රැස්කර ගත්තේය. නමුත් ඔවුන්ට තරගය අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 137කි. මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 30යි. පන්දු යැවීමේ දී තුන් ඉරියව් දස්කම් අතරට පැමිණි ඇන්ජලෝ එමානුවෙල් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගන්නා ලදි. පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතාවය නිසා අවසානයේ  MAS සිලුඒටා කණ්ඩායමට දැවැන්ත ජයග්‍රහණයක් හිමි විය.

MAS සිලුඒටා  (A) – 256/9 (50): දෙනුවන් රාජකරුණා 117*, චරණ නානායක්කාර 63, ඇන්ජලෝ එමානුවෙල් 25, අක්තාබ් කාඩර් 4/54, නුවන් තුශාර 2/47.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (B) – 137/10 (36.1): කවීන් බණ්ඩාර 76*, මනෝජ් සරත්චන්ද්‍ර 30, ඇන්ජලෝ එමානුවෙල් 4/32, බුද්ධික සංජීව 3/24, රොමේෂ් සිල්වා 2/23.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට