MAS සිලුඒටා, ජෝන් කීල්ස් සහ යුනිලිවර් ජයග්‍රහණ වාර්තා කරයි

441

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි” කුසලාන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ නැවත වතාවක් තම අපරාජිත බව රැක ගැනීමට MAS සිලුඒටා කණ්ඩායම අද (25දා) දිනයේ දී ද සමත් විය. ඒ කටුනායක වෙළඳ කලාප ක්‍රිකට් පිටියේ දී මොබිටෙල් සමාගම සමඟ පැවති තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

මේ අතර දිනයේ වේලාසනින්ම නිමා වූ තරගය ලෙස වාර්තා වූයේ කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් සංගම් පිටියේ දී පැවති තරගයයි. ඒ DHT සිමෙන්ති සමාගම සහ ජෝන් කීල්ස් සමාගම අතර පැවති තරගයයි. එම තරගයෙන් ජෝන් කිල්ස් සමාගමට කඩුලු 9ක ජයග්‍රහණයක් හිමි විය.

වර්ෂාව හේතුවෙන් තරගයට බාධාවන් එල්ල වූව ද මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් පිටියේ දී පැවති තරගයේ දී සිංගර් ශ්‍රී ලංකා සමාගම පරදා ජයග්‍රහණය කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දුලාජ්ගේ හුදකලා සටන ඵල රහිතයි; MAS යුනිචෙලාවට තවත් ජයක්!

පුරා වසර ගණනාවක් මුළුල්ලේ ඉතාමත් සාර්ථක ලෙසින් පැවතුණු වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ මෙවර ක්‍රියාත්මක වන්නේ 25 වැනි අදියරයි…

මොබිටෙල් සමාගම සහ MAS සිලුඒටා තරගය

අපරාජිත MAS සිලුඒටා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රතිවාදීන්ට පළමුවෙන් පන්දුවට පහර දීමට කළ ආරාධනයේ දී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 156ක් පමණි. පළමු කඩුලු 5 ලකුණු 34කට දැවී ඉතා අසරණව සිටි අවස්ථාවේ දී හය වැනි කඩුල්ලට එක් වූ සුපේෂල ජයතිලක (24) සහ කොෂාන් ධනුෂ්ක (32) මොබිටෙල් ලකුණු පුවරුව 88ක් දක්වා ඉහළ දමමින් ලකුණු 54ක සබඳතාවක් එක් කළහ.

අනතුරුව ලක්ෂාන් ජයසිංහ සහ ලහිරු සමරකෝන් (22) ද 9 වැනි කඩුල්ලට ලකුණු  33ක් එක්කරමින් තම කණ්ඩායම ගොඩ ගැනීමට දායක විය. මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ ලක්ෂාන් ජයසිංහ පන්දු 81කට මුහුණ දෙමින් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 32ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන චරණ නානායක්කාර කඩුලු 3ක් ලබා ගනිමින් ඉනිමේ කැපී පෙණෙන පන්දු යවන්නා විය.

ප්‍රතිවාදී ඉනිමට ක්‍රීඩා පිටියට පිවිසි MAS සිලුඒටා ක්‍රීඩකයෝ 36 වැනි පන්දුවාරය නිමා වෙද්දී කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගත්හ. එම ඉනිමේ දී අංක 3 පිතිකරු ඉරෝෂ් සමරසූරිය පන්දු 75ක දී හතරේ පහර 5ක් ද සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය.

මොබිටෙල් සමාගම; සියලුම දෙනා දැවී 156 (41.5) සුපේෂල ජයතිලක 24, කොශාන් ධනුෂ්ක 32, ලක්ෂාන් ජයසිංහ නොදැවී 32, ලහිරු සමරකෝන් 22, චරණ නානායක්කාර 3/21, නිමන්ද මධුශංක 2/17, බුද්ධික සංජීව 2/31, ඇන්ජලෝ එම්මානුවෙල් 2/28

MAS සිලුඒටා; කඩුලු 5ක් දැවී 159 (36.0) සංගීත් කුරේ 24, ඉරෝෂ් සමරසූරිය 51, ඇන්ජලෝ එම්මානුවෙල් 17, නිමන්ද මධුශංක 28, දෙනුවන් රාජකරුණා 28, කොශාන් ධනුෂ්ක 2/32, රංගන රාජපක්ෂ 2/27


DHT සිමෙන්ති සමාගම සහ ජෝන් කීල්ස් තරගය

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 48ක තරගයක් සේ ආරම්භ වූ මෙම තරගයේ දී දෙපිලේම ක්‍රීඩකයන් ක්‍රීඩා කළේ පන්දුවාර 35ක් පමණි.  කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි DHT සිමෙන්ති සමාගම් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 74ක් පමණි. ඔවුන්ගේ ඉනිම 25 වැනි පන්දුවාරයේ දී නිමා විය. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දසුන් සෙනෙවිරත්නයි.

DHT සිමෙන්ති සමාගම් ඉනිමේ විනාශකාරී පන්දු යවන්නා වූයේ වමතින් දඟපන්දු යැවූ සසිඳු පෙරේරා ය. ඔහු ලකුණු 14කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව අෆ්ටාබ් කාදර් කඩුලු 3ක් ද නුවන් තුෂාර කඩුලු 2ක් ද දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම් ක්‍රීඩකයෝ 10 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළෙහ. ඒ එක් කඩුල්ලක් පමණක් පූජා කරමිනි. මෙම ඉනිමේ දී මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 40ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

DHT සිමෙන්ති සමාගම; සියලුම දෙනා දැවී 74 (24.4) දසුන් සෙනෙවිරත්න 24, අෆ්ටාබ් කාදර් 3/18, නුවන් තුෂාර 2/07, සසිඳු පෙරේරා 4/14

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්; කඩුල්ලක් දැවී 76 (9.1) මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 40


යුනිලිවර් ශ්‍රී ලංකා සහ සිංගර් ශ්‍රී ලංකා තරගය

මෙම කණ්ඩායම් දෙකම මග්ගොන දී එකට එක මුණ ගැසෙන්නේ ආසන්නතම තරගයේ පරාජයන් උරුම කර ගනිමිනි. එබැවින් දෙපිළේම ක්‍රීඩකයින්ට තරගයේ ජයග්‍රහණය වඩාත් වැදගත් විය. පිටියේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් තරගය ප්‍රමාද වී ආරම්භ වූයේ පන්දුවාර 43ක තරගයක් සේ ය.

කාසියේ වාසිය දිනූ යුනිලිවර් නායකයා පිටියේ පැවති තෙතබරිත තත්ත්වයට වඩා අහසේ පැවති කඵ වළාවන් කෙරෙහි වඩාත් අවධානය යොමු කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 43 දී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 178ක් වාර්තා කළේය.

පළමු කඩුල්ල ලකුණු 9ක් තිබිය දී දැවී ගිය ද දෙවැනි කඩුල්ලට එක් වූ මධුෂ රාජරත්න සහ ආරම්භක පිතිකරු දමින්ද පෙරේරා ලකුණු පුවරුව ඉහළ නැංවූයේ ලකුණු 41ක් එක් කරමිනි. එහි මධූෂගේ ඉනිම පන්දු 51කින් සමන්විත වූ අතර හතරේ පහර 6ක් සමඟ ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 35කි. අනතුරුව පසුපෙළ ශක්තිමත් කරමින් හර්ෂනාත් රාජේන්ද්‍ර පන්දු 34ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සිංගර් ශ්‍රී ලංකා සමාගම් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 41ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත් පසිඳු ඩිල්ශාන් ය.

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන හර්ෂනාත් රාජේන්ද්‍ර කඩුලු 3ක් ද දඟපන්දු යවන්නන් වූ ගිහාන් ද සොයිසා සහ යොමේෂ් රණසිංහ කඩුලු 2 බැගින් ද දවා ගත්හ.

යුනිලිවර් ශ්‍රී ලංකා; කඩුලු 7ක් දැවී 178 (43.0) දමින්ද පෙරේරා 20, මධුෂ රාජරත්න 35, යොමේෂ් රණසිංහ 20, හර්ෂනාත් රාජේන්ද්‍ර නොදැවී 32, පසිඳු ඩිල්ෂාන් 2/33, ප්‍රශාන් වීරවර්ණ 2/32

සිංගර් ශ්‍රී ලංකා සමාගම; සියලුම දෙනා දැවී 103 (30.0) පසිඳු ඩිල්ෂාන් 28, චාමික මහේෂ් 16, හර්ෂනාත් රාජේන්ද්‍ර 3/34, ගිහාන් ද සොයිසා 2/27, යොමේෂ් රණසිංහ 2/19,

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට