FA කුසලානය යුධ හමුදාව දෑතට

1530
Army SC Champions 2016-17 FA CUP

කාගිල්ස් Food City ආයතනය මගින් සවිබල ගන්වනු ලබන FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද (20) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. ඒ වත්මන් ශූරයින් වන යුධ හමුදා ක්‍රීඩා සමාජය හා ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමඟිනි. මෙම තරගයෙන් ගෝල 5-1ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

FA කුසලාන අවසන් මහා තරගයට සියල්ල සූදානම්

මාස 9 කට පෙර ජාවා ලේන් කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩා සමාජ ඉතිහාසයේ අඩුම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් Dialog ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතරින් පහතට වැටුණු නමුත්…

අවසන් පූර්ව තරගයේ දී යුධ හමුදා ක්‍රීඩා සමාජය විසින් ගෝල 3-2ක් ලෙස කොළඹ පාපන්දු සමාජය පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා විට, ජාවා ලේන් ක්‍රීඩා සමාජය දඬුවම් පහර මගින් 5-3ක් ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගන්නා ලදි.

රාත්‍රී 7.00ට පමණ ප්‍රේක්ෂකාගාරයේ ඔල්වරසන් හඬ මැදින් ආරම්භ වූ මෙම අවසන් මහා තරගයේ ආරම්භය ලබා ගැනීමට, ප්‍රථම වරට FA කුසලානයේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ ජාවා ලේන් ක්‍රීඩා සමාජයට හැකි විය. අර්ධ අවසන් පූර්ව තරගවල දී තිබූ උණුසුම්කාරී බව එසේම රඳවා ගෙන කණ්ඩායම් දෙකම පළමු මිනිත්තු කිහිපය තුල ක්‍රීඩා කරන ලදි.

12 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය තම කණ්ඩායම වූ යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලබා ගැනීමට මොහොමඩ් ඉසඩීන් සමත් විය. ගෝලය රකින්නා සාර්ථකව මඟ හරිමින් ඉතාමත් දක්ෂ ලෙස දැල වෙතට එය එල්ල කිරීමට ඔහු සමත් විය. එම ගෝලයත් සමඟ යුධ හමුදා ක්‍රීඩකයින් නව ජවයකින් තරගයට අවතීර්ණ වනු දක්නට ලැබුණි. 17 වැනි මිනිත්තුවේ දී පමණ සුගතදාස පිටියට දැඩි වර්ෂාවක් ඇඳ හැලුණ ද එය තරගයේ රිද්මය පවත්වා ගෙන යාමට දෙපිළටම බාධාවක් නම් වූයේ නැත.

43 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ යුධ හමුදා ක්‍රීඩා සමාජය ජාවා ලේන් ක්‍රීඩකයින්ව උපක්‍රමශීලීව ආවරණය කරමින් තවත් ගෝලයක් ලබා ගන්නා ලදි. එහි දී මදුෂාන් ද සිල්වා දැල වෙතට එල්ල කළ පහර ගෝලයක් බවට පරිවර්තනය කිරීමට අශිකර් රහුමාන් සමත් විය.

45 වැනි මිනිත්තුවේ දී රහුමාන් හට කහ කාඩ්පතක් හිමි විය. ඒත් සමඟින් තරගයේ පළමු අර්ධය අවසන් විය.

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 2-0 ජාවා ලේන් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය යුධ හමුදා ක්‍රීඩා සමාජයේ මොහොමඩ් ඉසඩීන් විසින් ආරම්භ කරන ලදි. එම අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙත්ම නැවතත් යුධ හමුදා ආධිපත්‍ය තරගය තුල සනිටුහන් කරමින්,  අශිකර් රහුමාන් තවත් අලංකාරවත් ගෝලයක් යුධ හමුදා ලකුණු පුවරුවට එක් කළේ ගෝල 3-0ක් ලෙස තම කණ්ඩායම පෙරමුණට රැගෙන එමිනි.

දෙවන අර්ධයේ ආරම්භක මිනිත්තු කිහිපය තුල ද තරගයේ වැඩි ගෞරවය දිනා ගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. ජාවා ලේන් ක්‍රීඩා සමාජය අවස්ථාවන් කිහිපයක දී ම ගෝල ලබා ගැනීමට උත්සාහ කළ ද, එම උත්සාහයන් සියල්ලම ව්‍යර්ථ කිරීමට යුධ හමුදා කණ්ඩායමේ ගෝල රකින්නා සමත් විය.

57 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සජිත් කුමාර යුධ හමුදා කණ්ඩායමේ සිව්වන ගෝලය වාර්තා කළේ ප්‍රේක්ෂකාගාරයේ අත්පොළසන් හඬ මධ්‍යයේයි.

70 වන මිනිත්තුවේ දී ජාවා ලේන් ක්‍රීඩක මොහොමඩ් අලීම් ගෝලයක් ලබා ගැනීමට වෑයම් කළ ද එය අසාර්ථක විය. 76 වැනි මිනිත්තුවේ දී ජාවා ලේන් කණ්ඩායම වෙනුවෙන් එක් ගෝලයක් හෝ වාර්තා කිරීමට ජනක චමින්ද උත්සාහ කළ ද, ඒ සඳහා සහයක් ලබා දීමට අනෙක් ක්‍රීඩකයින් හට නොහැකි විය. මොහොමඩ් ඉසඩීන් 80 වැනි මිනිත්තුවේ දී තම දෙවන ගෝලය ලබා ගත්තේ, යුධ හමුදා ක්‍රීඩා සමාජයේ 5 වන ගෝලය ලෙස එය සටහන් කරමිනි.

අවසන් මිනිත්තු කිහිපය තුල තරගය යම් මන්දගාමී ස්වරූපයක් ගත්ත ද, අතිරේක මිනිත්තුවේ දී (90+1’) තම කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ පළමු හා එකම ගෝලය ජාවා ලේන් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට නවීන් ජූඩ් සමත් විය.

පසුගිය වර්ෂයේ දී ද ශූරතාවය ජයග්‍රහණය කළ, යුධ හමුදා ක්‍රීඩා සමාජය නොකඩවා දෙවන වරට ද ශූරතාවය ජයග්‍රහණය කළේ, මෙම තරගයේ ඉතිහාසය තුල තම සිව්වන FA කුසලාන ජයග්‍රහණය ද සනිටුහන් කරමිනි.

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 5-1 ජාවා ලේන් ක්‍රීඩා සමාජය

  • තරගාවලියේ වැඩිම ගෝල ලාභියා – මොහොමඩ් ඉශඩීන්  (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • තරගාවලියේ හොඳම ගෝල රකින්නා – කුමාර සිරිසේන  (යුධ හමුදා ක්‍රීඩා සමාජ නායක)
  • තරගයේ වීරයා – අශිකර් රහුමාන් (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

මෙහි දී තරගාවලියේ අනුශූරතාවය ජයග්‍රහණය කළ ජාවා ලේන් ක්‍රීඩා සමාජයට මුදලින් රුපියල් ලක්ෂ 5ක මුදලක් හා ශූරතාවය ජයග්‍රහණය කළ යුධ හමුදා ක්‍රීඩා සමාජයට ත්‍යාග මුදල් වශයෙන් රුපියල් 700,000ක මුදලක් ද ප්‍රදානය කරන ලදි.

ThePapare.com තරගයේ වීරයා: අශිකර් රහුමාන් (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

ගෝල ලබා ගැනීම්,

  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – මොහොමඩ් ඉසඩීන් 12’ & 80’, අශිකර් රහුමාන් 43’ & 50’, සජිත් කුමාර 57’
  • ජාවා ලේන් ක්‍රීඩා සමාජය – නවීන් ජූඩ් 90’+1’

කහ කාඩ්පත් ලාභීන්,

  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – අශිකර් රහුමාන් (45’), සජිත් කුමාර
  • ජාවා ලේන් – දමේන්ද්‍ර කුමාර

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට