වාර්ෂික හොකී තරගයේ ජය නාලන්දාවට

2085
ආනන්ද - නාලන්ද හොකී තරගයෙන් ජය ගත් නාලන්ද විද්‍යාලීය කණ්ඩායම ©ThePapare.com

ආනන්ද හා නාලන්ද විද්‍යාලීය කණ්ඩායම් අතර වාර්ෂිකව පවත්වනු ලබන ‘M.W. කරුණානන්ද’ ශූරතා කුසලාන හොකී තරගය අද (01) කොළඹ 07 හොකී ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර 15 වෙනි වරට සංවිධානය කර තිබු මෙම තරගය මෙවර ආදී නාලන්දීය හොකී සංගමය විසින් සංවිධානය කරනු ලැබීය .

පසුගිය ලිපි: “එරික් හුලංගමුව” කුසලානය මාතලේට

තරග ආරම්භයත් සමඟම නාලන්ද ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලි තරඟ විලාශයක් පෙන්නුම් කල අතර තරඟයේ 3වන මිනිත්තුවේදීම ප්‍රථම ගෝලය ලබා ගැනීමට නාලන්ද විද්‍යාලයේ රවිඳු පැහැසර සමත්විය. නැවතත් තරගයේ 27වන මිනිත්තුවේදී චින්තන අකලංක විසින් නාලන්ද කණ්ඩායමේ දෙවන ගෝලයත් වාර්තා කල අතර ඒ සමඟින් තරගයේ සම්පූර්ණ වාසිය ප්‍රථම භාගයේදී නාලන්ද විද්‍යාලය තමන් වෙත හරවා ගැනීමට සමත් විය.

තරගයේ දෙවන අර්ධය ආරම්භවීමත් සමඟ ආනන්ද විද්‍යාලය වඩාත් සැලසුම් සහගත, ආක්‍රමණශීලී තරඟ විලාශයක් පෙන්නුම් කරමින් ක්‍රීඩා කල නමුත් නාලන්ද විද්‍යාලයේ ක්‍රීඩකයින් විසින් ආනන්ද විද්‍යාලයේ ගෝල ලබා ගැනීමේ උත්සාහයන් සියල්ලම ව්‍යර්ථ කිරීමට සමත්වූ අතර නැවතත් තරගයේ 41වන මිනිත්තුවේදී  නාලන්ද විද්‍යාලයේ රවිඳු පැහැසර සිය 2වන ගෝලය වාර්තා කරමින් නාලන්ද විද්‍යාලයේ ගෝල සංඛ්‍යාව 3ක් දක්වා ඉහලට නංවමින් ආනන්ද විද්‍යාලීය ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරන ලදී.

45වන මිනිත්තුවේදී ආනන්ද විද්‍යාලයේ විශ්ව නදීර තම කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ගෝලය ලබා ගැනීමත් සමඟින් නැවතත් ආනන්ද විද්‍යාලය තරඟයට අවතීර්න වූ අතර තරගය ඉතාමත් තියුනු මුහුණුවරක් ගන්නා ලදී. නැවතත් 55 වන මිනිත්තුවේදී  තරගය තවදුරටත් තියුණු කරමින් ආනන්ද විද්‍යාලයේ මයංග යසස් ගෝලයක් වර්තා කිරීමට සමත් වූ නමුත් තරගයේ ජයග්‍රහණය ප්‍රථම භාගයේ සිටම ඉදිරියෙන් සිටි නාලන්ද කණ්ඩායමෙන් උදුරා ගැනීමට ආනන්ද ක්‍රීඩකයන්ට නොහැකිවිය.

අවසන් ලකුණු – ආන්නද විද්‍යාලය 02 : 03 නාලන්ද විද්‍යාලය

තරග කාලය අවසානයේදී ගෝල 3ට 2ක් වශයෙන් තරඟය ජයග්‍රහණය කරමින් ‘M.W. කරුණානන්ද’ ශූරතාවය දිනාගැනීමට නාලන්ද විද්‍යාලය සමත්වූ අතර තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නාලන්ද විද්‍යාලයේ ජීවංත පසන් නම් කරනු ලැබීය.

තරගයේ ජය සංකේත හා සහතික පත්‍ර ප්‍රදානය විදුහල් දෙකේ විදුහල්පතිවරුන් හා ආදී ශිෂ්‍යයින්ගේ සහභාගීත්වයෙන් සිදු වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාලන්ද විද්‍යාලයීය ආදී ශිෂ්‍ය, ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති සුමිත් මහතා සහභාගී විය.

මෙවර “M.W. කරුණානන්ද ශුරතාවය” නාලන්ද විදුහල දිනාගැනීමත් සමඟ මෙතෙක් පවත්වා ඇති තරඟ 15න් තරඟ 10ක ජය නාලන්ද විද්‍යාලයත්, තරඟ 4ක ජය ආනන්ද විද්‍යාලයත් ලබාගෙන ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට