ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු ශූරතාව රජරටට

132

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඩයලොග් කුසලාන වෙනුවෙන් සංවිධානය කරන ලද ‘චැම්පියන්ස් කුසලාන 2014’ තරගාවලියේ ශූරතාව රජරටට රැගෙන යන්නට අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජය පසුගියදා සමත්විය.

කණ්ඩායම් 21ක සහභාගිත්වය ඇතිව පැවැති මේ තරගාවලියේ සොලිඩ් පිල මුහුණ දුන් අවසන් තරගයේදී ඔවුන් වෙතින් ගෝල 1-0ක පරාජයක් ලබා තිබුණේ දේශීය පාපන්දු ක්‍රීඩාවේ වැඩිම ගෞරවයකට පාත්‍රව ඇති සෝන්ඩර්ස් පිලය.

මෙම ජයග්‍රහණය සමඟ තරග 20 කට සහභාගි වී තරග 15ක් ජයගෙන ඇති සොලිඩ් පිල තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නා විට තරග දෙකකදී පමණක් පරාජය වී ප්‍රසාද ලකුණු 48ක් රැස්කර තිබිණි.

මේ අතර ශූරතාව දිනා ගැනීම සඳහා සොලිඩ් පිල හා කරට කර සටනක නිරත වූ කලම්බු එෆ්.සී. පිල ඔවුන් සහභාගි වූ 18 වැනි තරගයේදී යුද හමුදාව වෙතින් ගෝල 2-0ක පරාජයක් ලැබීමත් සමඟ ශූරතාව හඹා යෑමේ බලාපොරොත්තුවද බොඳ කර ගත්තේය.

ඒ නිසා තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී සහභාගි වී ඇති තරග 18න් තරග 12ක් ජයගෙන පරාජයන් හා විසඳුමින් තොර තරග 3 බැඟින් සටහන්ව තිබියදී ඔවුන් ප්‍රසාද ලකුණු 39ක් ලබා ගෙන සිටින කලම්බු එෆ්.සී. පිලට අනුශූරයන් වීමට යුද හමුදාව සමඟ තරගයක නියැළෙන්නට සිදුව ඇත.

ඩයලොග් චැම්පියන්ස් ලීග් ශූරතාව සොලිඩ් පිලට හිමිවීමට නයිජීරියානු ක්‍රීඩකයන් වන ෂෝලා, හෆිස්, ඩැනියල්, යාපනය ප්‍රදේශයේ ක්‍රීඩකයකු වන එස්. ඥානරූබන් හා හිටපු ශ්‍රී ලංකා නායක එන්. බණ්ඩාර ප්‍රදර්ශනය කළ දස්කම් ඉවහල් වී තිබිණි.

සෝන්ඩර්ස් සමඟ පැවැති තරගයේදී සොලිඩ් පිල ලබාගත් ගෝලය තරගයේ 17 වැනි විනාඩියේදී වාර්තා කර තිබුණේ එන්. ඥානරූබන් විසිනි.