මාළු බෑම නතර කර 2011 ලෝක කුසලානයට ගිය ස්ටීවන් ඩොනල්ඩ්

338
(the42 වෙබ් අඩවියේ පළවූ Beer, fishing and kicking the winning points - Stephen Donald speaks about the 2011 World Cup ලිපිය ඇසුරිනි.)

ඔහුගේ ඒ බැල්ම! ඔබ දන්නවා මීළඟට සිදුවන්නේ කුමක්දැයි කියා.

සුප්‍රකට බ්ලේඩිසෝල් කුසලාන තරගයක, තරගය නිමා වීමට තත්පර 41 ක් පමණක් ඉතිරිව තිබිය දී ඔබ ලකුණු පහක් ඉදිරියෙන් නම්, පන්දුව ඔබත් සමඟ ඔබේ අර්ධයේ උත්සාහක දිනුම් රේඛාව අසලම නම් ඔබේ ජය තහවුරුයි ද?

පාසල් රග්බි පළමු වටයේ හොඳම සංචිතය මෙන්න

සති 5ක කාලයක් පුරාවට අතිශය උණුසුම්……

දිනය 2010 වසරේ ඔක්තෝබර් 30 වන දායි. ඒ සුපිරි ක්‍රීඩක ස්ටීවන් ඩොනල්ඩ් ගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය ලක්ෂ්‍යකට හරියටම සති 51 කට පෙර දිනයයි.

ඩොනල්ඩ් තරගය නිමා කිරීමේ අරමුණින් පන්දුවට පා පහර දුන්නත් සිදුවූයේ කිසිවෙකු නොසිතූ යමක්. පන්දුව පිටියෙන් ඉවතට නොගිය අතර ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රබල ආක්‍රමණය හමුවේ බිඳ වැටුණු “ඕල් බ්ලැක්ස්” ආරක්ෂක වළල්ල අතරින් රිංගා ජේම්ස් ඕ කෝනර් (James O’Connor) ලකුණු රැස්කළේ ලකුණු මට්ටම සම කරමින්. ඔහුගේම පා පහරින් පන්දුව ගෝල කණු අතරින් ඇදුනේ බ්ලේඩිසෝල් කුසලාන තරග 11කට පසු ඕස්ට්‍රේලියාවට පළමු ජය හිමි කර දෙමින්.

පසු විපරම සහ විචාර ඉතා දරුණු වුනා. ස්ටීවන් ඩොනල්ඩ් මාධ්‍ය සියල්ලෙන්ම දරුණු ලෙස පහර කෑවා. ඔබ “ඕල් බ්ලැක්ස්” ක්‍රීඩකයෙකු නම්, ඔබ 100% සාර්ථක විය යුතුමයි. නැතහොත් මාධ්‍ය මෙන්ම ප්‍රේක්ෂකයින් ද ඔබ හඹා එනු ඇත. එය නවසීලන්ත වර්ණ දැරීම නිසා ඔබට ගෙවන්නට සිදුවන වන්දියක්. කෙසේ වෙතත් මෙවර නම් පහර ගැසීම් අනවශ්‍ය ලෙස ඉහළ මට්ටමක තිබූ බවයි බොහෝ දෙනාගේ අදහස.

“ඒක අමාරු කාලයක්. ඔබ කණ්ඩායම එක්ක ඉද්දී සියල්ලෙන් ආවරණය වෙලා ඉන්නේ. ඒ නිසාම ඔබ ගෙදර එනකම්ම දන්නේ නැහැ තත්වය කෙතරම් දරුණු වෙලාද කියලා. ඒක හරිම නරක අතට හැරුණා” The42 වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු පවසා තිබුණා.

ඉන්පසුව එළඹුණු ජුනි මාසයේ ඔහු නිවේදනය කළේ ලෝක කුසලානයෙන් පසු “Aviva Premiership රග්බි තරගාවලිය” ක්‍රීඩා කිරීමේ අරමුණින් ඔහු රටින් පිටව යන බවයි. කෙසේ වෙතත් ලෝක කුසලානයට නම් කළ ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුතු “ඕල් බ්ලැක්ස්” සංචිතයේ අසුනක් අහිමි වීම නිසා ඔහු තීරණය කළේ ඔහුට ලැබුණු විවේක කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටයි.

ඔහු සමාජයෙන් වෙන්ව වඩා සන්සුන් වූ ගම්බද පෙදෙසක් කරා පිටව ගියේ සිය විනෝදාංශය වූ මත්සයින් ඇල්ලීම සඳහායි. ඔහු වෛකටෝ ගඟ අසබඩ සිය නිවාඩුව ගත කිරීමට තෝරා ගත්තා.

“මං දැනගෙන සිටියා මම ටික දවසකින් රටින් පිටව යන බව. එම නිසාම මං පොඩි විවේකයක් ගත්තා. මං මගේ පවුල සහ මිතුරන් සමඟ කාලය ගත කරන්නට තෝරා ගත්තා.”

“දිගු කලකට නවසීලන්තයෙන් ඉවතට යනවා කියා දැනුණු විට මට ලොකු අමුත්තක් දැනුණා. එම නිසාම මං නවසීලන්තය ගැන ආස සෑම දෙයක්ම නැවත දැකබලා ගන්න, අත්විඳින්න මට ඕනේ වුණා.”

ඒ වනවිට ඔහුට ලෝක කුසලානය අහිමිව යාමේ දුක අමතක වී තිබුණා. ඔහු මධුවිතෙන් සප්පායම් වෙමින්, ගඟ අසබඩ තනිවම සිය විනෝදාංශයේ නිරත වෙමින් සිටියා. සිය ජීවිතය උඩු යටිකුරු වීමට ඇත්තේ තවත් එක් මොහොතක් බව ඔහු දැනගෙන සිටියේ නැහැ.

Source: Ross Land

මේ අතරම “ඕල් බ්ලැක්ස්” කඳවුරේ ගැටළු රාශියක් මතුව තිබුණා. ක්‍රීඩකයින් “කපා හෙලූ ගස් මෙන්” බිම ඇදවැටෙමින් තිබුණා. කොලින් ස්ලෙඩ් (Colin Slade) හා ගැටී ඩෑන් කාටර් (Dan Carter) ආබාධයකට ලක්වුණු අතර ඒ වෙනුවට ඒරන් කෘඩන් (Aaron Cruden) අවසන් මොහොතේ කැඳවා තිබුණා. ස්ටීවන් ඩොනල්ඩ් ඒ දිනවල ලෝක කුසලාන බලාපොරොත්තු අතහැර දමා වනගතව සිටියේ මේ කිසිවක් නොදැනයි.  

“ඇත්ත වශයෙන්ම එය වෙන්න නොතිබුණු දෙයක්. ඊළඟට යොදා ගන්නා ක්‍රීඩකයා මම කියලා මට කවුරුත් කියා තිබුණේ නැහැ. මම දැනගෙන සිටියේ නැහැ පුහුණුකරුගේ සැලසුමේ මම සිටියේ කොහේද කියලා. ඉතින් කණ්ඩායමේ ස්ථානයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගන්න මට කිසිම උවමනාවක් තිබුණේ නැහැ.”

නවසීලන්ත රග්බි කණ්ඩායමට කුමක්දෝ ශාපයක් වැදී තිබුණා. තවත් ආබාධයක් නිසා කොලින් ස්ලෙඩ් ටත් පිටියෙන් ඉවත් වන්නට සිදුවුණේ ඩෑන් කාටර් ගෙන් අංක 10 ජර්සිය ලබාගෙන සතියක් ගතවෙන්නටත් මත්තෙනුයි.

ඒ නිසා ඒරන් කෘඩන් ඕස්ට්‍රේලියාවට එරෙහිව අවසන් පූර්ව වටයේ තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණා. නමුත් ඩොනල්ඩ් කැඳවීමටයි කණ්ඩායමේ තීරණය වුනේ. කෙසේ වෙතත් එකම ප්‍රශ්ණය වුනේ ඔහු තවමත් සිටියේ කණ්ඩායමට කිලෝමීටර දස දහස් ගණනක් ඈත නවසීලන්තයේයි.  

“මම වෛකටෝ ගංගාව අසල මගේ මිතුරෙකු සමඟ මාළු බාමින් සිටියේ. ඔබට පිටිසර පළාත් වලදී එතරම් රට – ලෝකය ගැන එතරම් තොරතුරු දැනගන්නටත් ලැබෙන්නේ නැහැ. අපි යම්තාක් දුරට වනගත වෙලා සිටියේ. මම සිටි තැනට දුරකථන සංඥා තිබුණේද නැහැ. කෙසේ වෙතත් මම දුරකථනය ක්‍රියාත්මක කළ හැකි ස්ථානයට ආ වහාම මගේ මිතුරෙකු වන මිල්ස් මුලියිනා මට කතා කරලා කිව්වා ගතවුනු පැය දෙකේම ග්‍රැහැම් හෙන්රි මට කතා කරන්න උත්සාහ කරනවා සහ ඉක්මණට ඔහුට කතා කරන්න කියලා.”  

“මම දැනගෙන හිටියා ග්‍රැහැම් මට කතා කරන්නේ තේ බොන්න නෙවෙයි කියලා. ඉතින් මට ඒ වේලාවේම තේරුණා මොකද වෙන්න යන්නේ කියලා”

ඩොනල්ඩ්, වේන් ස්මිත් සහ හෝසියා ගියර් සමඟ (Source: Andrew Cornaga)

ඔහුට දෙපාරක් කළ යුතු දේ කියන්නට පුහුණුකරුවන්ට අවශ්‍ය වුණේ නැහැ. එදින රාත්‍රියේ ඔහුගේ මිත්තණියගේ උපන්දිනය සැමරීමෙන් අනතුරුව ඔහු ඕක්ලන්ඩ් වෙත යන්නේ සිය ක්‍රීඩා උපකරණ මල්ලත් සමඟයි.

කෙසේ වෙතත් ඔහු ඔහුගේ ස්ථානය දැන සිටියා. ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන බව ඔහුට පවසා තිබුණා. ඒත් එය ඔහුට ගැටලුවක් වුනේ නැහැ. මීට පැය 24කට පෙර සිටියා සේ ගංගාවක් අසල සිටීමට වඩා ඔහුට කණ්ඩායම සමඟ සිටීම සතුටක් වුනා.

“මට පොඩි කාලේ සිටම අවශ්‍ය වුනේ මියයන තුරුම ‘ඕල් බ්ලැක්ස්’ කණ්ඩායමට ක්‍රීඩා කරන්න. ඒ නිසාම මං කවදාවත් ලැබුණු අවස්ථාවක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ මගේ හැටි නෙවෙයි.”

“ඔවුන් මට දුරකතනයෙන් කිව්වා මම අතිරේක ක්‍රීඩකයෙක් කියලා. ඒක මට ප්‍රශ්නයක් වුනේ නැහැ.”


සති කිහිපයකට මාළු සහ මධුවිතෙන් සප්පායම් වී සිටි ඔහු, ලෝක කුසලානයට හරියටම ගැලපෙන තත්වයේ නොසිටි බව ඔහු සිනහා මුසුව පවසා සිටියා.

ඇඟට නොගැලපුණු ජර්සියත් සමඟ ස්ටීවන් ඩොනල්ඩ් අවසන් තරගයේ ජයග්‍රාහී ලකුණු වාර්තා කරමින් Source: PA Archive/Press Association Images

කණ්ඩායමට වගේම ඔහුටත් මෙය නොසිතූ සිදුවීමක් වුනා. ඔහු ප්‍රංශ කණ්ඩායමට එරෙහිව තරගයේදී භාවිතා කළ ජර්සිය ඔහුට නොගැලපෙන තරම් තද එකක් වුනා. තරගයට අවධානය යොමු කළ ඔහුට එය ගැටළුවක් වුනේ නැහැ.

ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගයේදී පිටියට පිවිසුනේ නැහැ. ඔහු ක්‍රීඩා කරන්නට බලාපොරොත්තුවෙන් සිටියේත් නැහැ. ඒරන් කෘඩන් අංක 10 ස්ථානයේ ගිනිකෙළි පෙන්වද්දී, පිරී වීපු (Piri Weepu) ස්ක්‍රම් හාෆ් ස්ථානයේ හොඳින්ම ක්‍රීඩා කළා. කෙසේ වෙතත් ඔහු එතරම් පහසුවෙන් ක්‍රීඩා කරන බවක් පෙනුනේ නැහැ.

පාසල් රග්බි පළමු වටයේ හොඳම සංචිතය මෙන්න

සති 5ක කාලයක් පුරාවට අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ‘Singer’ පාසල් රග්බි….

ප්‍රංශය සමඟ අවසන් මහා තරගයේ මිනිත්තු තිහක් ගතවත්ම නවසීලන්ත කණ්ඩායමට වැදී තිබූ “ආබාධ ශාපය” නැවත ක්‍රියාත්මක වුනා. වැදගත්ම මොහොතේ අංක 9, 10 ශාපය නැවතත් ක්‍රියාත්මකව තිබූ අතර මෙවර එහි ගොදුර වුනේ හොඳින් ක්‍රීඩා කරමින් සිටි කෘඩන්.

බ්ලේඩිසෝල් කුසලාන තරගාවලියේ සිදුවූ අතපසුවීමට මාධ්‍යයෙන් මෙන්ම ප්‍රේක්ෂකයින්ගෙන් ද පහර කා වසරකට ආසන්න වන මොහොතක පුහුණු ඇඳුම ඉවතලා පිටියට යන ඩොනල්ඩ්ට කරන්නට තිබුනේ වැඩ පෙන්වා කටවල් වැසීම පමණයි.

පසුගිය 12දී ඔහුට අත්විඳීමට සිදුවූ අත්දැකීම් ඔහුව තවත් අධිෂ්ඨානශීලී කළා. වැරදි නිවැරදි කිරීමේ අරමුණින් ඔහු පිටියට පා තැබුවා.

“මම කලබල විය යුතුව තිබුනා. ඒ මගේ ජිවිත කාලය පුරාම මං අපේක්ෂා කරපු ස්වර්ණමය මොහොත. මම ඇත්තටම සිතුවේ නැහැ මට යළිත් අවස්ථාවක් ලැබෙයි කියා. මම මාස 12ක් මේ මොහොත එනකම් බලන් සිටියා. මට ඕනේ වුනේ පිටියට ගිහින් හොඳින්ම කරන්න.”

පිරී වීපු අර්ධ අවසන් පූර්ව තරගයේ සිට පන්දුවට පා පහර දුන්නත් අවසන් තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ඔහු අවස්ථා 10 කින් සාර්ථක කරගෙන තිබුනේ අවස්ථා හතරක් පමණයි.

දෙවන අර්ධයේ දඬුවම් පහරක් හිමිවූ විට එම අවස්ථාව ලබා ගැනීමට සුදානම් වුනේ ඩොනල්ඩ්. අනෙක් සියලු දෙනාට මෙය හුදෙක්ම තවත් එක් පා පහරක් වුනත් ඔහුට මෙය පා පහරකට වඩා වටිනා යමක් වුනා. පන්දුව ගෝල කණු අතරින් පාවී ගියේ නවසීලන්තය ලකුණු 08ක් දක්වා ඉදිරියට රැගෙන යමින්. ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ අවසන් විනිසුරු නලා නාදය ඇසෙන විට ලකුණු 08 – 07ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් සිටියේ ඩොනල්ඩ්ගේ අලංකාර පා පහරට පිං සිදුවන්නටය. ඒ අතරම ඩොනල්ඩ්, තමන්ගේ නැතිවුණු ගෞරවය යළිත් දිනාගෙන තිබුනා.

දින කිහිපයකට කලින් මධුවිත තොලගාමින්, මාළු බාමින් වනගතව සිටි ස්ටීවන් ඩොනල්ඩ් ලෝක කුසලාන අවසාන මහා තරගයක ජයග්‍රාහී ලකුණ වාර්තා කරාවි යැයි සිතුවේ කවුද?

“ඒක සිතා ගැනීමටවත් බැරි තරම් අමුතු, පැටලිලි සහගත හැඟීමක්. මම හිතන්නේ ඔය හැමදේටම වඩා අමතක නොවන දේ තමයි ජයග්‍රහණයට පසුව කණ්ඩායම සමඟ ගතකළ දින කිහිපය හා නවසීලන්ත ප්‍රේක්ෂකයින්ගේ උණුසුම් පිළිගැනීම්. අපි රටට ගෙනාපු සතුට අති විශේෂයි.”

අහම්බයකින් රග්බි පිටියට පිවිසි “ජීවා”

ජීවන්ති තුසිත කුමාරි ගුණරත්නගේ ගම රත්නපුරේ, කුරුවිට ය. පාසල කෑගලු…

බ්ලේඩිසෝල් කුසලානය අහිමි කළ තැනැත්තා වෙනුවට, ලෝක කුසලානය දිනා දුන් තැනැත්තා බවට පත්වීමට ස්ටීවන් ඩොනල්ඩ්ට හැකිවුනා.

Source: Natacha Pisarenko



ක්‍රීඩාවේදී ඔබේ ජනප්‍රියතාව මුහුදු රළ වැනියි. විටෙක ඉහළ යන අතර විටෙක පහළ යනවා. නරක කාලය ගෙවී යාම පිළිබඳ ඩොනල්ඩ් සිටියේ ඉතා සතුටින්.

“මිනිස්සු මගෙන් අහනවා ඔබ ගත කරපු නරක කාලය වළක්වාගන්න තිබුනේ නැද්ද කියලා. නමුත් මට සතුටුයි ඒ දෙය වුනාට. නරක කාලය සාර්ථකව ගෙවා අවසන් කරගැනීමට හැකිවීම පිළිබඳව මං ආඩම්බර වෙනවා. ඒකෙන් පෙනෙන්නේ නවසීලන්තය කෙතරම් ‘ඕල් බ්ලැක්ස්’ ලට ආදරය කරනවාද කියලා.”

ලෝක කුසලානයට පසුදින New Zealand Herald’s පුවත්පත ඔහුව වර්ණනා කර තිබුනේ “All Blacks folk hero” ලෙසයි.  

ඔවුන් වැරදි නැහැ නේද?


>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<