​ප්‍රබල ඉන්දියානුවන් දණගැස්වූ නවසීලන්ත වික්‍රමය

390

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ප්‍රධාන පෙළේ කිසිදු තරගාවලියක් ඔවුන් ඒ වන තෙක් ජයගෙන තිබුණේ නැත. 2000 වසරේ ඔක්තෝබර් 15 වැනිදා කෙන්යාවේ නයිරෝබි නුවර ජිම්කානා ක්‍රීඩාංගණයට පැමිණෙන නවසීලන්ත කණ්ඩායම එය නොදැන සිටියා නොවේ. 

නමුත් තම කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකු වූ ඩියෝන් නෑෂ් සහ ඩැනියෙල් විටෝරි ඔවුන් කණ්ඩායම සමග නොසිටීම සහ නවසීලන්තයේ සුපිරිතම තුන් ඉරියව් ක්‍රීඩකයා වූ ක්‍රිස් කෙයාන්ස්ගේ දණහිසේ ඇතිව තිබූ ආබාධය නවසීලන්ත බලධාරීන්ට ඇති කළේ හිසරදයකි. 

ක්‍රිකට් උපන්බිමට මෙවරවත් අවසන් පිම්ම පැනගත හැකි වේද?

විවියන් රිචර්ඩ්ස් සහ කොලිස් කිං එංගලන්ත ලෝක කුසලාන සිහින බොඳ කරයි. වීරයින් බිහිවන්නේ අප නොසිතන නොපත්නා තැන්වලිනි. 1979 ලෝඩ්ස් …

අනෙක් පසින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි ඉන්දියානු කණ්ඩායමට තරග පාවාදීමේ චෝදනාවලින් පසු ක්‍රිකට් ලෝකයට ඔප්පු කරන්නට යමක් තිබුණේය. තරගාවලිය පුරාවටම සුවිශේෂී දක්ෂතා දැක්වූ ඉන්දියාව සිය ප්‍රතිවාදීන් වූ නවසීලන්තයට වඩා සෑහෙන ඉදිරියෙන් සිටියේය. 

1998 මුල්ම වරට බංග්ලාදේශයේ දී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දෙවන අදියර පැවැත්වුණේ කෙන්යාවේ දී ය. මෙම තරගාවලියට ටෙස්ට් වරම් හිමි රටවල් දහයට අමතරව සත්කාරක කෙන්යානු කණ්ඩායම එක්වී සිටියහ. 

තරගාවලියේ ආකෘතිය අනුව එවකට ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන පහේ සිටි කණ්ඩායම් නිතරගයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ. ඒ අනුව ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් තරගාවලිය ආරම්භයේ දී ම අවසන් කණ්ඩායම් අට සඳහා තේරී තිබුණි.

ශ්‍රේණිගත කිරීම්වල පහළ ස්ථාන දිනා සිටි ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, ඉන්දියාව, බංගලාදේශය සහ සත්කාරක කෙන්යානු කණ්ඩායමට මූලික වටයකට සහභාගී වීමට නියමිතව තිබුණි. මෙම තරගාවලියේ තරග සියල්ලම පැවැත්වීමට නියමිතව තිබුණේ නයිරෝබි නුවර ජිම්කානා ක්‍රීඩාංගණයේ දී ය.

මෙම තරගවලින් බටහිර ඉන්දීය කොදෙව්වන් පරදවා ශ්‍රී ලංකා කණ්ඩායමත්, බංග්ලාදේශ කණ්ඩායම පරදවා එංගලන්තයත්, කෙන්යානු කණ්ඩායම පහසුවෙන් පරාජය කළ ඉන්දියානු කණ්ඩායමත් අවසන් කණ්ඩායම් අට අතරට සුදුසුකම් ලැබූහ.

තරගාවලියේ ආකෘතිය අනුව අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබන්නට වාසනාවන්ත වූයේ ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව පමණි. 

අවසන් පූර්ව වටයේ දී ප්‍රබල දකුණු අප්‍රිකානුවන් පරාජය කරන්නට ඉන්දියානුවන් සමත් වූහ. අනෙක් පසින් පාකිස්තානය පරාජය කරමින් නවසීලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණි.

Getty Images

නවසීලන්තයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා ක්‍රිස් කෙයාන්ස්ගේ දණහිස ආබාධයකට ලක්ව තිබුනත් ඔහුව අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරවනවා හැරෙන්නට විකල්පයක් නවසීලන්තයට තිබුණේ නැත.

නමුත් තරගයට පෙරදා ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වන්නට කෙයාන්ස්ට හැකියාව ලැබුණි. පෙර තරගයේ කෙයාන්ස්ගේ තැන හිමි කර ගත් ස්කොට් ස්ටයිරිස්ගේ දස්කම්වල අඩුවක් නොතිබුනත් කෙයාන්ස්ගේ සහභාගිත්වය නවසීලන්තයට ලබා දුන්නේ අමතර සවියකි.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරාගත්තේය. නමුත් ඉන්දියානු ආරම්භක පිතිකරුවන් සව්රව් ගංගුලි සහ සචින් තෙන්ඩුල්කාර් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 141ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. මැදපෙළ යම් කඩා වැටීමකට ලක්වූවද ඉන්දියානු නායකයා පන්දු 130ක් තුළ රැස් කළ ලකුණු 117 නිසාවෙන් ලකුණු 265ක ජයග්‍රාහී ඉලක්කයක් නවසීලන්තයට ලබා දීමට ඉන්දියානුවන්ට හැකියාව ලැබුණි. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන්  පන්දු යැවීමෙන් යම්තාක් දුරකට හෝ සාර්ථක වූ ස්කොට් ස්ටයිරිස් ඉන්දීය ඉනිමේ කඩුලු දෙකක් දවා ගන්නට සමත් විය.

එංගලන්තය “දෙඤ්ඤං බැටේ” දක්වා ආ ගමන

වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කුසලාන ජයග්‍රහණය නොලද එංගලන්තය සහ නවසිලන්තය අතර 2019 ලෝක කුසලානයේ පැවති…

අවසන් මහා තරගයක ලකුණු හඹා යෑම අමතර පීඩනයක් ඇති කරන්නකි. විශේෂයෙන්ම තරගාවලිය පුරාවටම ඉන්දීය කණ්ඩායම පන්දු රැකීමේ දී පෑ දස්කම් ඉහළම තලයේ තිබුණි.

ඉන්දියානු අභියෝගයට පිළිතුරු දෙන්නට පැමිණි නවසීලන්ත ආරම්භක පිතිකරුවා ක්‍රේග් ස්පියර්මන් දෙවන පන්දුවාරයේ දී හරවා ක්‍රීඩාගාරයට යවන්නට වේගපන්දු යවන්නා වෙන්කටේෂ් ප්‍රසාද් සමත් විය. එතැනින් නොනැවතී නායක ස්ටීවන් ෆ්ලේමිං කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගන්නට ද ප්‍රසාද් සමත් වූ අතර ඉන්දියානු අභියෝගය තරමක අපහසු එකක් බව පෙන්නුම් කලේ නිරන්තරයෙන් බිඳ වැටුණු නවසීලන්ත කඩුලු ය.

වීරයින් බිහිවන්නේ අප නොසිතන තැන්වලිනි. කඩුලු තුනක් දැවී ලකුණු 81ක් නවසීලන්ත ලකුණු පුවරුවේ සටහන් වන විට නවසීලන්ත කණ්ඩායමේ වීරයා පිටියට පිවිසුණේය. ඔහු සිටියේ පූර්ණ ශරීර යෝග්‍යතාවකින් නොවේ. නමුත් ඔහු තමාගේ ආබාධිත දණහිස ගැන කිසිදු තැකීමක් නොකරමින් නවසීලන්ත එක්දින තරග ඉතිහාසයේ සුවිශේෂීම ජයග්‍රහණයක් වෙනුවෙන් විශිෂ්ටතම ඉනිමක් ක්‍රීඩා කළේය.

කෙයාන්ස් ඉන්දියානු පන්දු යවන්නට බැට දෙද්දී අනෙක් පසින් ඉනිම ස්ථාවර කරන්නට පිතිකරුවෙකුගේ අවශ්‍යතාවක්  තිබුණි. ක්‍රිස් හැරිස් නම් කවදත් නවසීලන්තයේ පිහිටට ආ තුන් ඉරියව් සුරුවා කෙයාන්ස් සමඟ සුපිරි ඉනිමක් ගොඩ නැගීමට සමත් විය. හැරිස් පන්දු 72ක් තුළ අගනා ලකුණු 45ක දායකත්වයක් ලබා දෙන්නට සමත් වූ අතර ඔහු දැවී යන විට නවසීලන්ත ජයග්‍රහණය තිබුණේ පෙනෙන මානයේය.

ESPN Cricinfo

නවසීලන්තය විජයග්‍රහණය කරාගෙන යෑමට අගනා ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රිස් කෙයාන්ස් පන්දු 113ක් තුළ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 102කි. අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී නම් නවසීලන්තය ජයග්‍රහණය වාර්තා කර ගත් අතර ඔවුන්ට ඒ වෙනුවෙන් ලැබුණ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 250,000කි. ලෝක කුසලාන අවසන් පූර්ව තරග කිහිපයකට සහභාගී වී තිබුනත් නවසීලන්ත කණ්ඩායමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ප්‍රධාන පෙළේ තරගාවලියක් ජය ගත් ප්‍රථම අවස්ථාව එය විය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<