සහිරාවන් හමුවේ ඩී. එස්. ක්‍රීඩකයෝ තියුණු සටනක

1628

මරදාන සහිරා විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ප්‍රථම වතාවට සංවිධානය කරනු ලැබූ ආර්. අයි. ටී. අලස් සමරු කුසලාන රග්බි තරගය අද (16) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති අතර ලකුණු 17-19ක් ලෙස තියුණු ජයක් ලබා ගන්නට සහිරා ක්‍රීඩකයින් සමත් විය.

ඩී. එස්. – සහිරා මංගල මහා රග්බි ගැටුම සිකුරාදා

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ මෙන්ම මරදාන සහිරා විද්‍යාලයේ විදුහල්පති ලෙස ද කටයුතු කළ ආර්. අයි. ටී. අලස් මහතා සිහි කිරීම උදෙසා, කොළඹ ඩී. එස්. සේනානායක…

තරගයට ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගත් සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගය ආරම්භ වී මිනිත්තු 7ක කාලයක් ගතවද්දී ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. එහි දී සේනානායක ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමකින් පන්දුව ලබාගත් සහිරා  ක්‍රීඩක ශමීර් ඉක්බාල් 1T, සාර්ථකව පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමට සමත් විය. නමුත් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නට මින්හාජ් ශම්ෂුදීන් සමත් වූයේ නැත. (DS 00-05 ZC)

කෙසේ නමුත් ඉන් අනතුරුව ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරුවත්, ඔවුන් අතින් සිදු වූ අත්වැරදීම් හේතුවෙන් සහ සහිරා ක්‍රීඩකයින්ගේ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය හේතුවෙන් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත.

නමුත් තරගයේ 25 වන මිනිත්තුවේ දී ලලංක විජේසුන්දර විසින් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට දිනූෂ හේමසිරි සමත් වූයේ නැත. (DS 05-05 ZC)

එම උත්සාහක දිනුමට වහාම පිළිතුරු දැක්වූ සහිරා ක්‍රීඩකයින් ඔවුන්ගේ දෙවන උත්සාහක දිනුම සාර්ථක කර ගත්තේ නැවතත් තරගයේ ඉදිරියට පැමිණෙමිනි. එහි දී අම්ජාඩ් ෆවුමි විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබූ අතර ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට අහමඩ් සලාම් සමත් විය. (DS 05-12 ZC)

තර්ස්ටන් රග්බි ක්‍රීඩකයෝ කොග්ගල පිටිය සියතට ගනිති

රිච්මන්ඩ් විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර බ්‍රහස්පතින්දා (15 වැනිදා) පැවති තරගයෙන් ලකුණු 31-00 දැවැන්ත ජයක් ලබා ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත්…

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සේනානායක ක්‍රීඩකයින් හොඳින් පන්දුව හුවමාරු කර ගනිමින් එය ඉදිරියට රැගෙන ගිය අතර ඉන්පසුව එය ලබාගත් නායක චමුක සෙෂාන් පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට සාරංග උඩවත්ත සමත් විය.

පළමු අර්ධය : ඩී. එස්. සේනානායක විද්‍යාලය 12 – 12 සහිරා විද්‍යාලය

තරගයේ දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබාගත් සහිරා ක්‍රීඩකයින් දෙවන අර්ධය ආරම්භ වූ වහාම උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් නැවතත් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. එහි දී ෆර්හාන් ශුහේබ් විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබූ අතර ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ශම්සුදීන් සමත් විය. (DS 12-19 ZC)

ඉන් අනතුරුව තවදුරටත් ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කරන්නට සහිරාවන් සමත් වූ අතර තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගන්නට ඔවුන් සමත් වුවත් ඒවා සාර්ථකව අවසන් කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

අනතුරුව තරගයේ 53 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දිනූෂ හේමසිරි උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය අඩු කර ගන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට සාරංග උඩවත්ත සමත් වූයේ නැත. (DS 17-19 ZC)

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවටම ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් ප්‍රතිවාදී අන්තයේ පන්දුව රඳවා ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් ඔවුන් අතින් සිදු වූ අත්වැරදීම් හේතුවෙන් එම උත්සාහය සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ජයග්‍රහණය හිමි කර ගත් මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් ආර්. අයි. ටී. අලස් කුසලානය ද දිනා ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය : ඩී. එස්. සේනානායක විද්‍යාලය 17 (3T 1C) – 19 (3T 2C) සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – අම්ජාඩ් ෆවුමි (සහිරා විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – ලලංක විජේසුන්දර 1T, චමුක සෙශාන් 1T, දිනූෂ හේමසිරි 1T, සාරංග උඩවත්ත 1C
  • සහිරා විද්‍යාලය – ශමීර් ඉක්බාල් 1T, අම්ජාඩ් ෆවුමි 1T, ෆර්හාන් ශුහේබ් 1T, අහමඩ් සලාම් 1C, මින්හාජ් ශම්සුදීන් 1C

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<