ලොයෙලා – ක්‍රිස්තුරාජ මිතුරන් ප්‍රථම මහා සංග්‍රාමයට සූදානමින්

318
Loyola v Christ King

පාසල් ක්‍රිකට් පිටියට මහා වසන්තය කැන්දමින් බෝපිටිය ලොයෙලා විද්‍යාලය සහ තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලය අතර ප්‍රථම වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 16 සහ 17 දෙදින පුරා කදිරානේ දී පැවැත්වේ. මේ වර්ෂයේ මෙරට ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමු වාර්ෂික මහා ක්‍රිකට් තරගය වෙන්නේ ද මෙයයි.

මෙවර සහෝදරයින්ගේ සංග්‍රාමයේ පළමු ඉනිම පන්දුවාර 60 සීමා වෙයි

පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමයේ තවත් උත්කර්ෂවත් ක්‍රිකට් තරගාවලියක් වන කොළඹ තර්ස්ටන්..

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටස නියෝජනය කරන මෙම විද්‍යාල දෙකම මෙවර තරගාවලියේ දී තමන්ගේ කාණ්ඩ යටතේ දැක්වූ දක්ෂතා අනුව මංගල මහා තරගයේ විසඳුම ලියවෙතැයි බොහෝ දෙනෙක්ගේ අපේක්ෂාවයි.

ලොයෙලා විද්‍යාලයීය කණ්ඩායම සයුරු ජයකොඩි විසින් මෙහෙය වනු ලබන අතර ක්‍රිස්තුරාජ විද්‍යාලයීය කණ්ඩායම ධනංජය ප්‍රනාන්දු විසින් මෙහෙය වනු ලැබේ.

ලොයෙලා විද්‍යාලය

මෙවර තරග වාරයේ දී ලොයෙලා විද්‍යාලය තරග 9කට සහභාගී වී ඇති අතර ඉන් එක් තරගයක දී පමණක් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ඇත. අනෙකුත් සෑම තරගයක්ම ලියැවී ඇත්තේ තමන්ගේ කණ්ඩායමට අවාසි සහගත ආකාරයෙනි.

අවසන් වසරට ක්‍රීඩා කරන සයුරු ජයකොඩි තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් කණ්ඩායම මෙහෙය වීමේ කාර්යයේ නිරත වේ. මෙවර තරග වාරයේ දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 600 සීමාව ද, පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 30 සීමාව ද ඉක්මවා යෑමට දක්ෂතා දක්වා ඇත. පිතිකරුවෙක් ලෙසින් දැක්වූ දක්ෂතාවන් හි දී උදම්විට කුලසිංහ මහා විද්‍යාලයට එරෙහිව ඔහු විසින් රැස් කළ ද්විත්ව ශතකයත්, මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය සහ ප්‍රතිවාදී ක්‍රිස්තුරාජ විද්‍යාලයට එරෙහිව රැස් කළ ශතකයත් ඉදිරියෙන්ම ලියැවේ. දකුණතින් පන්දුවට පහර දෙන සයුරු දකුණතින් පිට දඟපන්දු යවමින් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙසින් ද කටයුතු කරයි.

කණ්ඩායමේ උප නායක රදීශාන් උමයංග තුන් ඉරියව් දක්ෂතා දක්වමින් කණ්ඩයමට එක්ව සිටී. පිතිකරුවෙක් ලෙසින් මෙවර තරග වාරයේ ලකුණු 350 සීමාව පසුකර ඇති අතර කණ්ඩයමේ ආරම්භක දකුණත් වේගපන්දු යවන්නා ය. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වන සංක ප්‍රසාද් ද කණ්ඩායමේ විශ්වාසය තබා ඇති තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

ලොයෙලා විද්‍යාලයීය කණ්ඩායම

  • සයුරු ජයකොඩි (නායක)
  • රදීශාන් උමයංග (උප නායක)
  • ප්‍රමෝද් ඉඳුරංග
  • ප්‍රශාන් සිල්වා
  • චරිතාංග ලක්ෂාන්
  • සහල් චාරුක
  • ධනුශ්ක අශේන්
  • යොහාන් සුධීර
  • කුමේෂ් චමත්ක
  • සංක ප්‍රසාද්
  • ධනංජය අවිශ්ක
  • කවිශ්ක සපරමාදු
  • තරුෂ දුලාන්ජන
  • සහන් දිලංක
  • සඳුන් නිමන්ත
  • ඩිල්ශානි සපරමාදු (ක්‍රීඩා භාර ආචාරිනිය)
  • රොහාන් සමන්ත පියතුමා (විදුහල්පති)
  • හර්ෂ සිල්වා (පුහුණුකරු)
  • තිවංක තිලක්ෂණ (ක්‍රිකට් භාර ආචාර්ය)

ක්‍රිස්තුරාජ විද්‍යාලය

මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී තරග 12කට සහභාගී වී ඇති ක්‍රිස්තු රාජ විද්‍යාලය ඉන් තරග 5ක් ජයග්‍රහණය කර ඇත. ඒ මහරගම ජනාධිපති විද්‍යාලය, කොලොන්නාව හෙන්රි ස්ටීල් ඕල්කට් විද්‍යාලය, රාගම කරුණාරත්න බෞද්ධ පාසල, වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොච්චිකඩේ ලොයෙලා විද්‍යාලවලට එරෙහිව ය. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සමඟ තරගවල විසඳුම වී ඇත්තේ ක්‍රිස්තු රාජයන් පරාජය ලැබීමයි.

කණ්ඩායමේ නායකත්වය 5 වැනි වසරේ වර්ණලාභී ධනංජය ප්‍රනාන්දු වෙත හිමිව ඇත. කණ්ඩායමේ කඩුලු රකින්නා ද ධනංජය මෙවර තරග වාරයේ දී ලකුණු 500කට ආසන්නව රැස් කර ගෙන ඇති අතර කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීම් 30කට ආසන්න සංඛ්‍යාවකට දායකත්වය දක්වා ඇත.  

කණ්ඩායමේ උප නායක සසිත ලහිරු පීරිස් කණ්ඩායමේ සිටින සුවිශේෂී පිතිකරු ය. මෙවර තරග වාරයේ මේ වෙද්දී ලකුණු 957ක් වාර්තා කර ගනිමින් සිටී. එම ලකුණු ප්‍රමාණය රැස් කිරීමේ දී මහරගම ජනාධිපති, බෝපිටිය ලොයෙලා, කෝට්ටේ සාන්ත තෝමස්, එඬේරමුල්ල සාන්ත ජෝසප් වාස්, නුගේගොඩ ලයිසියම් යන විද්‍යාලවලට එරෙහිව ශතක වාර්තා කර ඇත.

කණ්ඩායම වෙනුවෙන් වඩාත් විශ්වාසය දිනා ඇති පන්දු යවන්නා වී ඇත්තේ අවුරුදු 15න් පහළ කණ්ඩායම ද නියෝජනය කරන මාලිංද පෙරේරා ය. වමතින් පා දඟපන්දු යවන ඔහු මේ වෙද්දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 75කි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ කොලොන්නාව ශ්‍රීමත් හෙන්රි ඕල්කට් විද්‍යාලයට එරෙහිව දවා ගත් කඩුලු 13යි.

ඊට අමතරව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන පසිඳු මලික් ලකුණු 550කට ආසන්නව සහ කඩුලු 30කට ආසන්නව දවා ගනිමින් ද, නිසල් මාලිංග ලකුණු 350 සීමාවේ සිටිමින් සහ කඩුලු 45ක් දවා ගනිමින් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දක්වමින් සිටී.

ක්‍රිස්තු රාජ විද්‍යාලයීය කණ්ඩායම

  • ධනංජය ප්‍රනාන්දු (නායක)
  • සසිත ලහිරු (උප නායක)
  • රුචිර නිර්මාල්
  • ජූඩ් රොෂාන්
  • නිසල් මාලිංග
  • ලහිරු සඳරුවන්
  • නිමිඳු මධුසංක
  • නිශාන් ප්‍රනීත්
  • පසිඳු මලිත්
  • උදාන රවිඳු
  • රවිඳු හිරුශාන්
  • මාලින්ද පෙරේරා
  • සචින් ඇන්තනී
  • ඉසුරු ලක්ශාන්
  • පැතුම් නෙත්සර
  • අශාන් ශ්‍රීමාල් (පුහුණුකරු)
  • ඩොමිනික් සමීර පියතුමා
  • නිහාල් රොද්‍රිගෝ සහෝදරතුමා (විදුහල්පති)

මිතුරන්ගේ සංග්‍රාමය ලෙසින් භෞතීස්ම ලැබූ මේ මංගල වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී දෙපිලේම ක්‍රීඩකයෝ තම දක්ෂතා උපරියෙන්ම දැක්වීමට සූදානම්ව සිටී. දිවයිනේ 2018 වසරේ පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරග අතර පළමු තරගයට සහභාගී වන ඔවුන් සියල්ලට ThePapare.com උණුසුම් සුබ පැතුම් එක් කරමු.

විද්‍යාල දෙක අතර පැවැත්වෙන වාර්ෂික සීමිත පන්දුවාර තරගය මේ මස 24දා කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<