පරාජයේ වගකීම මම භාර ගන්නවා – ශ්‍රී ලංකා පුහුණුකරු

769
sri lanka v Bangladesh

ශ්‍රී ලංකාව බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටි ආසියානු අභියෝගතා කුසලානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ ඊයේ (20) ඉරාක කණ්ඩායමත් සමඟ පැවති අවසන් පූර්ව තරගය වට 3-1ක් ලෙසින් පරාජය වීම නිසාය.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව පැමිණි ගමන් මග අනුව අවසන් පූර්ව වටය ජය ගැනීමට ඔවුන්ට මහඟු අවස්ථාවක් තිබුණ ද, ඊයේ දවසේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ආකාරය යම් පහළ මට්ටමක පැවතිනි. එයට අමතරව ඉරාකයේ උපාය උපක්‍රම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් තිබීම ඇතුළු බොහෝ කාරණා ශ්‍රී ලංකාවේ පරාජයට බලපෑ හේතු අතර විය.

ශ්‍රී ලංකා ශූරතා බලාපොරොත්තු ඉරාකය විසින් උදුරා ගනී

ආසියානු වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන්, ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ඩයලොග්..

ඊයේ දිනයේ තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පුහුණුකරු ඩෙජාන් වුලිසෙවිච් මහතා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් ද පාදක කර ගනිමින් ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාවේ පරාජයට හේතු වූ කාරණා පිළිබඳව මෙම ලිපියෙන් විමසා බැලෙනු ඇත.

වැදගත්ම අවස්ථාවල දී ඉරාක කණ්ඩායමට ලකුණු ප්‍රදානය කිරීම

“තරගයේ ඉතා වැදගත් අවස්ථාවල දී අපෙන් ලකුණු ගිලිහිලා ගියා. ඇත්තටම අපි ඔවුන්ට (ඉරාක කණ්ඩායමට) ලකුණු ප්‍රදානය කළා. ඔවුන්ට ලකුණු ගන්න බැරි වුනා. නමුත් අපි ඔවුන්ට ලකුණු ප්‍රදානය කළා.”

ශ්‍රී ලංකාවේ පුහුණුකරු ඉහත අදහස් දැක්වූයේ වැදගත් අවස්ථාවල දී ඉරාකයට ලකුණු ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ය.

වරෙක 9-19ක් ලෙසින් දිස්වූ දෙවැනි වටයේ ලකුණු තත්ත්වය 21-23ක්ව තිබූ අවස්ථාවේ දී ලසිඳු මෙත්මාල් විසින් ඉතා අපරික්ෂාකාරී, අවදානම් සහගත පහරක් එල්ල කළේය. පන්දුව ඉරාක ආවරණවල වැදී ඉවතට යන ලෙස එම පහර එල්ල කළ ද පන්දුව ආවරණවල නොවැදී එලියට යන ලදි. ඒ අනුව ලකුණු මට්ටම 21-24ක් විය.

ඉන්පසු දෙවැනි වටයේ දී නැවත පිට පිට ලකුණු 3ක් හිමිකරගත් ශ්‍රී ලංකාව ලකුණු මට්ටම 24-24ක් ලෙස තිබිය දී පිරිනැමීමේ දෝෂයක් සිදු කළ හෙයින් පහසු ලකුණක් ඉරාකයට හිමි විය. එම පිරිනැමීම සිදු කළේ දීප්ති රොමේෂ් විසින් වන අතර ඔහු එයට පෙර ඉතා විශිෂ්ට මට්ටමේ පිරිනැමීම් දෙකක් සිදු කිරීම ද විශේෂත්වයකි. අවසානයේ දෙවැනි වටයේ ජය 24-26ක් ලෙසින් ඉරාකයට හිමි විය.

>> තරගාවලියේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න << 

තුන්වැනි වටයේ දී 20-22ක් වශයෙන් ලකුණු පැවති අවස්ථාවේ දී ජනිත සුරත් විසින් එල්ල කළ පහර පිටියෙන් ඉවතට යන ලදි. තරගයේ දී ජනිත ඉතා ප්‍රසංශණීය ආකාරයෙන් ක්‍රීඩා කළ ද එම අත්වැරදීම නිසා ලකුණු පරතරය 3ක් දක්වා වැඩිවුනි.

ශ්‍රී ලංකාව ජයගත යුතුම සිව්වැනි වටයේ එක් අවස්ථාවක 12-11ක් ලෙස ප්‍රතිඵලය දැක්වුන ද දෙවැනි තාක්ෂණික කෙටි විවේකය අවස්ථාවේ දී ලකුණු දැක්වූයේ 13-16ක් ලෙසිනි. වැදගත්ම අවස්ථාවක ශ්‍රී ලංකාව එක ලකුණක් හිමිකර ගන්නා විට ඉරාකය විසින් ලකුණු 5ක් හිමිකර ගන්නා ලදි. ඉරාකය විසින් හිමිකරගත් එම ඉතා වැදගත් ලකුණු 5 අතරට ශ්‍රී ලංකාවෙන් සිදු වූ වැරදිවලින් ඉරාකය ලබා ගත් ලකුණු ද විය.

2 සහ 3 වටවල දී ප්‍රථමයෙන් ඉරාකය ඉදිරියෙන් සිටීම

වොලිබෝල් තරගයක මෙය ඉතා වැදගත් කරුණකි. වටයක මුල දී ඉදිරියෙන් සිටින්නට හැකි නම් එය ප්‍රතිවාදී කණ්ඩායමට දැඩි පීඩනයක් ගෙන දෙන කරුණකි.

දෙවැනි වටයේ දී පළමු තාක්ෂණික කෙටි විවේකය අවස්ථාවේ දී 3-8ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට ඉරාකයට හැකි විය. එම ලකුණු අතරට ශ්‍රී ලංකාවේ පහර 4ක් ආවරණය කරමින් ඉරාකය ලබා ගත් ලකුණු 4ක් ද, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු විසින් දැලෙහි දැවටීම නිසා ඉරාකයට හිමි වූ ලකුණක් ද විය.

තෙවැනි වටයේ ද 2-4ක් ලෙසින් ලකුණු සටහන් වූ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දැලෙහි දැවටීම නිසා ඉරාකයට ලකුණක් හිමි විය. ඒ අනුව 3-4ක් ලෙසින් ලකුණු ආසන්න කිරීමට තිබූ අවස්ථාව 2-5ක් දක්වා විය. ඉන්පසු තෙවැනි වටය අවසන් වන තෙක්ම ඉදිරියෙන් සිටීමට ඉරාකයට හැකි විය.

ක්‍රීඩකයන් විවේක ගැන්වීම

සවුදි අරාබිය සමඟ පැවති තරගයේ දී ශ්‍රී ලංකාවේ දීප්ති රොමේෂ්, ලසිඳු මෙත්මාල් සහ වසන්ත ලක්මාල් යන ක්‍රීඩකයන් තිදෙනාම විවේක ගැන්වීමට ශ්‍රී ලංකාවේ පුහුණුකරු විසින් තීරණය කරන ලදි. එයට හේතුව වූයේ ඔවුන් තිදෙනාම යම් ආබාධවලින් පෙලීමයි. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව සවුදි අරාබිය හමුවේ පරාජය වීම සහ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වීමයි.

යම් හෙයකින් එම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ නම් අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාවට තරග කරන්නට ලැබෙන්නේ ඉරාකය සමඟින් නොව බංග්ලාදේශය සමඟින්ය.

“මම දැනගෙන හිටියා බංග්ලාදේශයට වඩා ඉරාකය හොඳ කණ්ඩායමක් කියලා. නමුත් මට ඕන වුනේ නෑ ක්‍රීඩකයින්ව ආබාධවලට ලක් කරන්න. ඒ නිසයි මම ඔවුන්ව විවේක ගැන්වූවේ. මම එදා ක්‍රීඩකයෝ තුන්දෙනෙක් විවේක ගැන්වූවා. අද අපි පරාජය වුනා. ඉතින් මමයි වැරදිකාරයා.”

වුලිසෙවිච් මහතා විසින් ක්‍රීඩකයන් විවේක ගැන්වීම පිළිබඳ එලෙසින් අදහස් දැක්විය. නමුත් එම ක්‍රීඩකයන් තිදෙනා එදින ක්‍රීඩා කළත් එම තරගය ශ්‍රී ලංකාව ජය ගනු ඇතැයි 100% විශ්වාසයකින් කිසිවෙකුට පැවසිය නොහැකි වන්නේ සවුදි අරාබිය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින කණ්ඩායමක් බැවිනි.

මාස 7ක් අපි පුහුණු වුනේ අද තරගයට – ජාතික වොලිබෝල් පුහුණුකරු

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මේ දිනවල පැවැත්වෙන පළමුවැනි ආසියානු පිරිමි වොලිබෝල්.

යම් හෙයකින් එම තරගයට දීප්ති, ලසිඳු සහ වසන්ත ක්‍රීඩා කරන්නට යොදවා, ශ්‍රී ලංකාව එම තරගය පරාජයට පත්වී, එන් එක් ක්‍රීඩකයෙකුගේ හෝ ආබාධ තත්වය වැඩි වී, ඊයේ තරගය ක්‍රීඩකයෙකුට මගහැරී, ශ්‍රී ලංකාව ඊයේ තරගය පරාජය වූවා නම් එහි වරද පැටවෙන්නේ ද පුහුණුකරු මතය. එබැවින් එම අවස්ථාවේ දී පුහුණුකරු ක්‍රියා කළ ආකාරය වඩා උචිත බවක් පෙනෙන්නට තිබේ.

වැරදුණ උපාය උපක්‍රම සහ ඉරාකයේ දක්ෂතා

“මම තමයි පරාජයට වගකියන්න ඕන. මොකද කණ්ඩායම පිළිබඳ වගකීම තිබෙන්නේ මට. අපි තරගය පරාජය වුනේ මගේ උපක්‍රම වැරදුණ නිසා වෙන්න පුළුවන්” පුහුණුකරු ලෙසින් පරාජයේ වගකීම ද සිය කර මතට ගත් වුලිසෙවිච් මහතා එසේ ද ප්‍රකාශ කරන ලදි.

තරගයේ දී ශ්‍රී ලංකාව එල්ල කළ පහරවල බොහෝ ප්‍රමාණයක් ආවරණය කිරීමට ඉරාකයට හැකි විය. නමුත් ඉරාකයේ කෙටි පන්දු ප්‍රහාරවලට ශ්‍රී ලංකාවට තිබූ පිළිතුරු ප්‍රමාණවත් නොවීය. ඉරාකයේ පන්දු සකසා දීම උපරිම මට්ටමක පැවතිය ද ශ්‍රී ලංකාවේ පන්දු සැකසීම පැවතුණේ ඉතා දුර්වල මට්ටමකයි. එමගින් සිදු වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රහාර වැඩි වශයෙන් ඉරාක ආවරණවලට හසුවීමයි. සැලකිව යුතු ලකුණු ප්‍රමාණයක් ඉරාකයට හිමි වීමයි.

ඉරාකය යම් අවස්ථාවල දී වේගවත් ප්‍රහාර පිළිබඳ පමණක් නොසිතා පන්දුව නිවැරදි ස්ථානවලට පතිත කිරීමට උත්සාහ ගත්ත ද එවැනි ආකාරයේ උපක්‍රම ශ්‍රී ලංකාව අනුගමනය කරන ලද්දේ ඉතා අඩුවෙනි.

“මම ක්‍රීඩකයින්ට දොස් කියන්නේ නෑ. ඔවුන් මාස හතක පුරාවට මාත් සමඟින් බොහෝ කැපකිරීම් කරා. ඔවුන් (ක්‍රීඩකයෝ) ඉතා හොඳ පිරිසක්. ඉතා හොඳ විනයක් තියෙනවා. ඔවුන් ඉතාමත් දක්ෂයි.

හැම ක්‍රීඩකයෙක්ගෙන්ම වැරදීම් සිදු වෙනවා. අපි හැමෝම මිනිස්සු වශයෙන් ඒ දේ සිදුවෙන්න පුළුවන්. ක්‍රීඩකයින්ගෙන්, විනිසුරුවරුන්ගෙන්, අපි හැමෝගෙන්ම වැරදීම් සිදුවෙන්න පුළුවන්.”

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිබඳ වුලිසෙවිච් මහතාගේ අදහස එලෙසින් දක්වන ලදි. තවද,

“ශ්‍රී ලංකාවේ වොලිබෝල් දියුණු කිරීම සඳහා මම ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයට අදහස් සහ යෝජනා දෙන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට හොඳ අනාගතයක් තියෙනවා. සහයෝගය තමා අවශ්‍යම.” ඔහු සිය කතාවට එකතු කරන ලදි.

ඉහත කී බොහෝ කාරනා නිසා තරගයෙන් පරාජය වී තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව සිදුවූවත් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව පැමිණි ගමන් මග ඉතා පැසසුම්සහගත එකක් බව ක්‍රීඩාලෝලීන්ගේ මතයයි. එක් අවස්ථාවක් මඟහැරීම යනු සියල්ල අවසන් වීම නොවන අතර ඉදිරියේ දී තවත් බොහෝ අවස්ථා ශ්‍රී ලංකාවට හිමි වනු ඇත.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<