සත්කාරක ශ්‍රී ලංකාවෙන් ආගන්තුක හොංකොංට හොඳ පිළිගැනීමක්

By Sachin Dananjaya & Deshan Wattegama

1798

ආසියානු වොලිබෝල් සංගමයේ පූර්ණ අනුදැනුම සහිතව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා Dialog 4G Home Broadband එක්ව පළමු වරට සංවිධානය කරන පිරිමි ආසියානු වොලිබෝල් අභියෝගතා කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා – හොංකොං තරගය වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව අද (15) සමත් විය. තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්විය.

රටවල් 8කින් එක වෙන්න ශ්‍රී ලංකා වොලිබෝල් සිහින දකී

සැප්තැම්බර් මස 15 වැනිදා සිට සැප්තැම්බර් මස 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා…

තරගාවලිය සඳහා ආසියානු වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයේ සිට 16 වන ස්ථානය දක්වා රටවල් සහභාගී වන අතර ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව, හොංකොං සහ සෞදි අරාබිය A කාණ්ඩය යටතේ ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, ඉරාකය සහ මොංගෝලියාව යන කණ්ඩායම් B කාණ්ඩය යටතේ ද තරග කරයි.

ආසියානු වොලිබෝල් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 14 වන ස්ථානයේ පසුවන අතර හොංකොං කණ්ඩායම පසුවන්නේ 16වන ස්ථානයේයි.

ශ්‍රී ලංකා – හොංකොං තරගයේ පළමු වටයේ පළමු මිනිත්තු කිහිපය ඉතා උණුසුම් වූයේ දෙපිලම කරට කර සටන් කරමින් ලකුණු රැස්කර ගැනීම නිසාවෙනි. කෙසේ නමුත් හොංකොං ක්‍රීඩකයින්ගේ පන්දුව පිළිගැනීමේ හා පන්දුව ගොඩගැනීමේ දී දැක්වූ දුර්වලතා නිසා ලකුණු 25-15ක් ලෙස පහසුවෙන්ම පළමු තරග වටය ජය ගැනීමට  ශ්‍රී ලංකාව සමත් විය.

හොංකොං කණ්ඩායම තරගයේ දෙවන වටයට අවතීර්ණ වූයේ නව ජවයක් ද සහිතවයි. එම තරගයේ පළමු මිනිත්තු කිහිපය තුල ශ්‍රී ලංකාව පළමු තරග වටය තුල පවත්වා ගත් රිද්මය පවත්වා ගෙන ක්‍රීඩා කරමින් ලකුණු රැස්කර ගත්තේය.

නමුත් තරග වටයේ අඩක කාලයක් අවසන් වෙද්දී හොංකොං කණ්ඩායම හිස ඔසවමින් යළිත් ලකුණු අතරට පිවිසෙමින් ශ්‍රී ලංකාවට හොඳ තරගයක් ලබා දුන්න ද, හොංකොං කණ්ඩායමට තරග වටය ජය ගැනීමට නොහැකි විය. දෙවන වටය ලකුණු 25-20ක් ලෙස නිමා විය.

තෙවන වටයට හොංකොං කණ්ඩායම අවතීර්ණ වූයේ එම තරග වටය කෙසේ හෝ ජය ගැනීමේ අරමුණ ඇතිවයි. මෙම වටයේ දී පළමු තරග වට දෙකේ දී ක්‍රීඩා කළාට වඩා වැඩි ජවයක් රඳවා ගෙන හොංකොං කණ්ඩායම ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට වැඩි පීඩනයක් ගෙන දෙන්නට විය. නමුත් ඒ පීඩනය සීමා වූයේ දෙපිලම ලකුණු 15 සීමාව පසුකර යන තෙක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු ගොඩගැනීමේ හා පන්දු එසවීම නිසා හොංකොං කණ්ඩායමට තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුල සිය රිද්මය නිසියාකාරව පවත්වා ගැනීමට නොහැකි විය.

අවසානයේ මේ තරගයේ තෙවන වටය නිමා වූයේ ලකුණු 25-22ක් ලෙසත් ශ්‍රී ලංකාවට ජය හිමිකර දෙමිනි.

ලකුණු සාරාංශය,

  • පළමු වටය: ශ්‍රී ලංකාව 25 – 15 හොංකොං
  • දෙවන වටය: ශ්‍රී ලංකාව 25 – 20 හොංකොං
  • තෙවන වටය: ශ්‍රී ලංකාව 25 – 22 හොංකොං

>> තරග සියල්ල සජිවීව නරඹන්න මෙතින් පිවිසෙන්න <<

පළමු ආසියානු පිරිමි වොලිබෝල් කුසලානයේ මංගල ජය ඉරාකයට

තරගාවලියට තියුණු ආරම්භයක් ලබා දුන් තරගයක් වූ මේ තරගයේ පළමු වටය ද ඉතා උණුසුම් විය. ඉතා උද්‍යෝගයෙන් ක්‍රීඩා කළ බංගලාදේශ ක්‍රීඩකයෝ ප්‍රබල ඉරාක ක්‍රීඩකයින් හමුවේ ලකුණු 25-20ක් ලෙස පළමු වටය ජය ගන්නට සමත් විය.

දෙවන වටයේ සිට සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වූ ඉරාක ක්‍රීඩකයෝ දෙවන වටය ලකුණු 25-18ක් ලෙසත්, තෙවන වටය ලකුණු 25-17ක් ලෙසත් ජය ගත්තේ බංගලාදේශ ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි.

බංගලාදේශයට ජයග්‍රහණය අත්‍යවශ්‍යම වූ සිව්වැනි වටය ඉතා උණුසුම් වූ අතර තරගය පස්වැනි වටය දක්වාම ගෙන යමින් අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රීඩා කළ බංගලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 25-21ක් ලෙස වටය ජය ගැනීමට සමත් විය.

පස්වැනි හා අවසන් වටයේ සිට අත්දැකීම්වලින් හා උසෙන් ප්‍රබල වාසියක් අත්කර ගත් ඉරාක ක්‍රීඩකයෝ ලකුණු 15-09ක් ලෙස බංගලාදේශය පරාජය කරමින් පළමු ආසියානු පිරිමි වොලිබෝල් අභියෝගතා ශූරතාවලියේ මංගල තරගයේ ජය හිමිකර ගැනීමට සමත් විය.

ගම නගරය යා කරනා ජාතික තරගාවලියට ඔබ සූදානම් ද?

වොලිබෝල් ක්‍රීඩා පිටිය නැවත වරක් කාර්ය බහුල කරමින් “2018 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය..

තරගාවලියේ අද දින පැවති දෙවැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ජයග්‍රහණ ලබාගත්තේ මොංගෝලියාව පරාජය කරමිනි.

මේ තරගාවලියේ ආරම්භක දිනය වන අද (15) දිනයේ පවත්වන අවසන් තරගය මැලේසියාව හා සවුදි අරාබිය අතර තරගය සවස 6.30ට පැවැත්වෙනු ඇත. එම තරගය ද සජීවීව ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්.

තරගාවලියේ සියලු තොරතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<