1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය

1829
අර්ජුණ විල්ස් ලෝක කුසලානය ලබාගත් මොහොත - gettyimages

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලද මිහිරිතම ජයග්‍රහණය විය. එදා විශිෂ්ට නායකයෙකු සමඟ නව උපක්‍රම භාවිතා කරමින් සෙසු කණ්ඩායම් අභිබවා යමින් දිනාගත් එම ජයග්‍රහණය පිළිබඳව අදටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් කතා කරන්නේ ආඩම්බරය මුසුවූ අභිමානයකිනි.

​සුනිල් ගවස්කාර් ඉන්දියානුවන්ට ක්‍රිකට් එපා කරවූදා​

1975 වසරේ මුල්ම වරට ලෝක කුසලාන තරගාවලියක් එංගලන්තයේ දී ආරම්භ……

එම තරගාවලිය ආරම්භ වීමට පෙර ලෝක කුසලාන තරග 26කට සහභාගී වී ඉන් 4ක් පමණක් ජයග්‍රහණය කර තිබූ ශ්‍රී ලංකාව ලෝක ශූරයන් ලෙස අභිෂේක ලැබීම සමස්ත ක්‍රිකට් ලෝකයම මවිත කළ සිදුවීමක් විය. එම නිසාම මෙම ලිපිය වෙන් වන්නේ එදා ශ්‍රී ලංකාව ලබාගත් එම අභිමානවත් ජයග්‍රහණය පිළිබඳව මතකය නැවතත් ආවර්ජනය කිරීමටයි.

විල්ස් ලෝක කුසලානය – gettyimages

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමිවිය

1996 ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදුනු ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ කෙන්යාව යන කණ්ඩායම් සමඟ මව්බිමේදී තරග වැදීමට නියමිතව තිබිණි. නමුත් 1996 වසරේ ජනවාරි මස 31ක් වැනිදා සිදුවූ මහ බැංකු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් සහ කොදෙව්වන් ශ්‍රී ලංකාවේ තරග වැදීම ප්‍රතික්ෂේප කළ අතර ඉතිරි කණ්ඩායම් 2ද ශ්‍රී ලංකාවට පැමිණීමට මැලිකමක් දැක්වීය. එම නිසා තරගාවලියේ සත්කාරකත්වය අහිමි වීමේ අවදානමකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

ගාල්ලේ දී මුහුදට බිලිවීමට ගිය එංගලන්ත ක්‍රිකට් තුන් කට්ටුව

දිනය 2003 වසරේ නොවැම්බර් 30 වැනිදා ය. සුදු ජාතික තරුණයින් ……

එම අවස්ථාවේ සිය අසල්වැසියාට පිහිට වීමට ඉදිරිපත් වූ ඉන්දියානු සහ පාකිස්තාන ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රදර්ශන ක්‍රිකට් තරගයක් පවත්වා ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳව තක්සේරුවක් ලබාදීමට ඉදිරිපත් විය. එලෙස ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබාදීමෙන් අනතුරුව සිම්බාබ්වේ සහ කෙන්යාව ශ්‍රී ලංකාවේ දී තරග වැදීමට කැමැත්ත පළ කළත් ඕස්ට්‍රේලියානුවන් සහ කොදෙව්වන් මෙරටට නොපැමිණීම නිසා එම තරග 2හි ප්‍රසාද ලකුණු ශ්‍රී ලංකාවට හිමිවීම අමතර වාසියක් විය.

තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම

ලෝක කුසලාන තරගාවලියට පෙර පාකිස්තානය සමඟ පැවති එක්දින තරගාවලිය සහ සාජා තුන්කොන් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ අවසන් තරගයට පවා මුල්ම වරට සුදුසුකම් ලබමින් ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව තරගාවලියට අවතීර්ණ විය. තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි විය.

  • අර්ජුණ රණතුංග (නායක)
  • අරවින්ද ද සිල්වා (උප නායක)
  • අසංක ගුරුසිංහ
  • රොෂාන් මහානාම
  • හෂාන් තිලකරත්න
  • සනත් ජයසූරිය
  • රොමේෂ් කලුවිතාරණ
  • ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
  • මුත්තයියා මුරලිදරන්
  • චමින්ද වාස්
  • කුමාර ධර්මසේන
  • රවීන්ද්‍ර පුෂ්පකුමාර
  • මාවන් අතපත්තු
  • උපුල් චන්දන

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අරා-ගුරා යුගලය දස්කම් දැක්වීය

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ඇලිස්ටෙයාර් කැම්බල් රැස්කළ ලකුණු 75 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 228ක් ලබාගැනීමට සමත් විය.

ඇලිස්ටෙයාර් කැම්බල් – crictracker.com

ලකුණු 229ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ මුළු ලකුණු සංඛ්‍යාව 23 වනවිට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට හීත් ස්ට්‍රීක් සමත් විය. නමුත් තෙවන කඩුල්ල වෙනුවෙන් අරවින්ද ද සිල්වා සහ අසංක ගුරුසිංහ ගොඩනැගූ ලකුණු 172ක අගනා සබඳතාවය නිසාම පන්දුවාර 37කදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට හැකිවිය.

එම තරගයේදී වේගවත් ලකුණු 91ක් රැස් කරමින් අරවින්ද ද සිල්වා තරගයේ වීරයා වනවිට, හයේ පහර 6ක් සමඟින් ගුරුසිංහ ලකුණු 87ක් ලබාගත්තේ එම අවදියේ එක්දින ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව ඔහු සතුකර ගනිමිනි.

කෙටි ලකුණු පුවරුව

සිම්බාබ්වේ – 228/6 (50), (කැම්බල් – 75, එවන්ස් – 39*)

ශ්‍රී ලංකාව – 229/4 (37), (අරවින්ද – 91, ගුරුසිංහ – 87)

තරගයේ වීරයා වූ අරවින්දගේ ඉනිමේ අවස්ථාවක් – ESPNcricinfo

දිල්ලියේදී ඉන්දියානුවන්ට බැටදුන් සනත්  

දිල්ලි නුවර ෆෙරෝස් ෂා කොට්ලා පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් තෙවන කඩුල්ල සඳහා ටෙන්ඩුල්කාර් සහ අසාරුඩීන් ගොඩනැගූ ලකුණු 172ක සබඳතාවය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 271ක් ලබාගැනීමට හැකිවිය. එහිදී ටෙන්ඩුල්කාර් ලකුණු 137ක් රැස්කළ අතර අසාරුඩීන් නොදැවී ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය.

ටෙන්ඩුල්කාර්ගේ ඉනිමේ අවස්ථාවක් – The Hindu

ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ලකුණු 272ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ලකුණු 53ක වේගවත් සබඳතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවේ වේග පන්දු යවන්නෙකු වූ මනෝජ් ප්‍රභාකර්ට ඉන්පසුව දඟපන්දු යැවීමට පවා අවස්ථාව උදාකර දෙමිනි. නමුත් එම අවස්ථාවේ කලුවිතාරණ ලකුණු 26කට දැවී ගියත් ඉන් නොසැලුනු සනත් ජයසූරිය පන්දු 76කින් ලකුණු 79ක් ලබාගෙන ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබීය. ජයසූරියගේ නික්ම යාමත් සමඟම ශ්‍රී ලංකා ලකුණු පුවරුව 141/4 බවට පත්විය. එලෙස එක්වරම ඉන්දියානුවන් තරගයට අවතීර්ණ වුවත් එය තඹ දොයිතුවකට මායිම් නොකළ හෂාන් සහ අර්ජුණ නොබිඳුනු ලකුණු 131ක සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.4කදී ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.

කෙටි ලකුණු පුවරුව

ඉන්දියාව – 272/3 (50), (ටෙන්ඩුල්කාර් – 137, අසාරුඩීන් – 72*)

ශ්‍රී ලංකාව – 272/4 (48.4), (ජයසූරිය – 79, හෂාන් – 70*, අර්ජුණ – 46*)

ජයසූරියගේ ඉනිමේ අවස්ථාවක් – The Golden Era of Sri Lankan Cricket

වාර්තා රැසක් සමඟින් කෙන්යානු තරගයත් ජයගනී

කොදෙව්වන්ට එරෙහිව පෙරළිකාර ජයක් ලැබීමෙන් අනතුරුව මෙම තරගයට අවතීර්ණ වූ කෙන්යානුවන් මහනුවර අස්ගිරිය පිටියේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් හොඳ හැටි බැට කෑවේ නියමිත පන්දුවාර 50 අවසානයේදී එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව 398/5 ලෙස අලුත් කිරීමට දායකත්වය ලබා දෙමිනි.

එහිදී ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ මුල්ම ශතකයේ හිමිකරු බවට පත්වෙමින් අරවින්ද ද සිල්වා ලබාගත් ලකුණු 145 එම අවදියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ හොඳම එක්දින ඉනිමද විය. ඊට අමතරව පන්දු 29කින් අර්ධ ශතකය ලැබූ අර්ජුණ රණතුංග ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ හිමිකරුවා වූයේ එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් ඕල්ඩ්ගේ වසර 21ක් පැරණි වාර්තාවක් බිඳ හෙලමිනි.

ඉන්පසුව ලකුණු 399ක දැවැන්ත ඉලක්කයක් පසුපස හඹා ගිය කෙන්යානු කණ්ඩායම වෙනුවෙන් ස්ටීව් ටිකලෝ ලකුණු 96ක් ලබාගත්තද සෙසු පිතිකරුවන් එතරම් දස්කම් නොදැක්වීම නිසා නියමිත පන්දුවාර 50 අවසානයේදී ඔවුන්ගේ ඉනිම 254/7ක් ලෙසින් නිමාවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 144ක ජයක් උරුමකර දෙමිනි.

වාර්තාවන් සම කළ කෝඩුකාරයා “චමිඳු අනුෂ්ක”

පාසල් මහා ක්‍රිකට් තරග සමය නිමා වූව ද එහි මතකයන් තැන තැන සැරිසරයි…..

කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව – 398/5 (50), (අරවින්ද – 115, ගුරුසිංහ – 84, අර්ජුණ – 75*)

කෙන්යාව – 254/7 (50), (ටිකලෝ – 96, මෝඩි – 41)

සනත්ගේ සුපිරි ඉනිම එංගලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරයි

ෆයිසලාබාද් නුවර ඉක්බාල් පිටියේදී පැවති ශ්‍රී ලංකා-එංගලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 94ක් තුළ බිඳ වැටුණි. නමුත් ෆිල් ඩි ප්‍රීටස් පන්දු 64කින් ලබාගත් වේගවත් ලකුණු 67 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 235ක් ලබාගැනීමට ඔවුන්ට හැකිවිය.

ඇතර්ටන්ව දවාගත් වාස් – gettyimages

ජයග්‍රහණය සඳහා ලකුණු 236ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ක්‍රියාත්මක වූ අතර ඔහු පන්දු 44කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබාගත් වේගවත් ලකුණු 82 නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40.4කදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදී පහසුවෙන්ම ජයග්‍රහණය කරා ගියේ ලෝක කුසලාන ඉතිහාසයේ මුල්ම වරට අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලබමිනි.

කෙටි ලකුණු පුවරුව

එංගලන්තය – 235/8 (50), (ෆිල් ඩි ප්‍රීටස් – 67, ඩර්මට් රීව් – 35)

ශ්‍රී ලංකාව – 236/5 (40.4), (ජයසූරිය – 82, ගුරුසිංහ – 45)

ජයසූරියගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages

අරවින්දගේ සටන්කාමී ඉනිම ශ්‍රී ලංකා ජයග්‍රහණයට පාර කපයි

ඉන්දීය කණ්ඩායමට එරෙහිව කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් පිටියේදී පැවති අවසන් පූර්ව තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 1කට දැවීගොස් තිබිණි. එම අවස්ථාවේ පිටියට පිවිසි අරවින්ද ද සිල්වා හතරේ පහර 14ක් සමඟින් පන්දු 47කදී රැස්කළ වේගවත් ලකුණු 66 ශ්‍රී ලංකා කණ්ඩායම තරගය තුළ ජීවත් කළ ඉනිම බවට පත්විය. එහිදී ඔහුට මනා සහයක් ලබාදුන් මහානාම ලකුණු 58ක් ලබාගත්තද ඔහුට ඇතිවූ ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වන්නට සිදුවිය.නමුත් මහානාම ඉවත් වුවත් අර්ජුණ, හෂාන් සහ වාස් වැනි පිතිකරුවන් එම අවස්ථාවේ ඉතාමත් වගකීමෙන් පිත්ත හැසිරවූ නිසා නියමිත පන්දුවාර 50 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව 251/8 බවට පත්විය.

අරවින්දගේ සුපිරි ඉනිමේ සුන්දර මොහොතක් – gettyimages

රාත්‍රී කාලයේදී ලකුණු 252ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙන්ඩුල්කාර් ලබාගත් ලකුණු 65 නිසා ඔවුන් එක් අවස්ථාවක කඩුලු 1ක් දැවී ලකුණු 98ක් ලබා සිටියද, ජයසූරියගේ පන්දුවක් හමුවේ කලුවිතාරණ අති දක්ෂ අයුරින් ටෙන්ඩුල්කාර්ව ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමත් සමඟම ඉන්දීය ඉනිමේ කඩුලු ඉක්මනින්ම බිඳ වැටුනි. එලෙස කඩා වැටුනු ඉන්දීය ඉනිම පන්දුවාර 34.1ක් අවසානයේදී 120/8 බවට පත්වූ අතර එම අවස්ථාවේ ඉන්දීය නරඹන්නන්ගෙන් එල්ල වූ බාධා නිසා තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.

අරවින්දගේ සුපිරි ඉනිමේ සුන්දර මොහොතක් – gettyimages


කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව – 251/8 (50), (අරවින්ද – 66, මහානාම – 58*, ශ්‍රීනාත් – 34/3)

ඉන්දියාව – 120/8 (34.1), (ටෙන්ඩුල්කාර් – 65, මන්ජේකාර් – 25, ජයසූරිය – 12/3)

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලොවේ රජුන් බවට පත්වෙයි

ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් නායක මාක් ටේලර් සහ රිකී පොන්ටිං දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 101ක අගනා සබඳතාවය නිසා ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 137/1 වැනි ප්‍රබල තත්වයක පසුවිය.

මාක් ටේලර්ගේ නායකත්ව ඉනිමේ එක් මොහොතක් – gettyimages

නමුත් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් මැනවින් පන්දු යැවූ නිසා 137/1 ලෙස පැවති ඕස්ට්‍රේලියානු ඉනිම 205/7 බවට පත්වුනු අතර ඉනිමේ අවසන් භාගයේදී මයිකල් බෙවන් නොදැවී ලබාගත් ලකුණු 36 නිසා නියමිත පන්දුවාර 50 තුළ ඔවුන්ට කඩුලු 7ක් දැවී ලකුණු 241ක් ලබාගැනීමට හැකිවිය.

අරවින්ද විසින් පොන්ටිංව දවාගත් අවස්ථාව – gettyimages

ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 2ක ලකුණු 23ක් තුළ දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුවද අනතුරුව පිටියේ එක්වූ අරා-ගුරා සුසංයෝගය ලකුණු 125ක අගනා සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 148/2 දක්වා ඔසවා තැබීය.

අවසන් තරගයේදී ලකුණු 65ක් ලබාගත් ගුරුසිංහ පහරක් එල්ල කරමින් – gettyimages

නමුත් එම අවස්ථාවේ ගුරුසිංහ ලකුණු 65කට දැවීයාමෙන් අනතුරුව පිටියට එක්වූ උප නායක අරවින්ද ද සිල්වා නායක අර්ජුන සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.2කදී ජයග්‍රහණය කරා රැගෙන ගියේ අරවින්දගේ සුපිරි ශතකයත් සමඟිනි. එදා අරවින්ද  නොදැවී රැස්කළ ලකුණු 107, ලෝක කුසලාන අවසන් තරගයක දෙවන ඉනිමේ වාර්තා වී ඇති එකම ශතකය වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට ආඩම්බර විය හැකි කරුණකි.

කෙටි ලකුණු පුවරුව

ඕස්ට්‍රේලියාව – 241/7 (50), (මාක් ටේලර් – 74, රිකී පොන්ටිං – 45, අරවින්ද – 42/3)

ශ්‍රී ලංකාව – 245/3 (46.2), (අරවින්ද – 107*, ගුරුසිංහ – 65, අර්ජුණ – 47*)

අරවින්ද ශතකය ලබාගත් මොහොත – gettyimages

තරගාවලියේ වීරයා සනත් ජයසූරිය

තරගාවලිය පුරාවටම තුන් ඉරියව් දස්කම් දක්වමින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 221ක් ලබාගත් ජයසූරිය එහිදී ප්‍රහාරාත්මක වේගය 131.55ක පවත්වා ගත්තේය. පිත්තෙන් එලෙස දස්කම් දැක්වූ සනත් පන්දු යැවීමේදී කඩුලු 7ක්ද, පන්දු රැකීමෙන් උඩපන්දු 5ක්ද ලබාගත් නිසා තරගාවලියේ වීරයා සම්මානය ඔහුට හිමිවිය.

සනත් තරගාවලියේ වීරයා සම්මානය ලබාගත් මොහොත  – The Golden Era of Sri Lankan Cricket

අරවින්ද පිත්තෙන් පෙන්වූ දස්කම් විශිෂ්ටයි

තරගාවලිය පුරාම පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ අරවින්ද, ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් තරග 6කදී ලකුණු 448ක් රැස් කළේ 89.60ක පිතිකරණ සාමාන්‍යයක් සහ 107.69ක ප්‍රහාරාත්මක වේගයක් සහිතවය. එලෙස ඔහු පිත්තෙන් දැක්වූ දස්කම් නිසාම අවසන් පූර්ව තරගය, අවසන් තරගය ඇතුළු තරග 4කදීම තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවිය.

අරවින්ද අවසන් තරගයේ වීරයා සම්මානය ලබාගනිමින් – Sportstar 30th March 1996

එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මිහිරිතම රාත්‍රියක් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග විල්ස් ලෝක කුසලානය ඔසවාගෙන සිටින එම ඡායාරූපය දකින ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියෙකුට අදටත් එම සුන්දර මොහොත සිහිවනවා නිසැකය.

අර්ජුණ ජයග්‍රාහී කුසලානය සමඟ – gettyimages

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<