ශ්‍රී ලංකා හොකී ක්‍රීඩිකාවන්ට ගෝල 19ක දැවැන්ත ජයක්

592
Photo Courtesy: Asian Hockey Federation

4 වන වරට පැවැත්වෙන ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා තායිලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම, ඉන්දුනීසියා කාන්තා කණ්ඩායමට එරෙහිව වාර්තාගත ගෝල 19ක ජයග්‍රහණයක් ලබමින් තම කාණ්ඩයේ පෙරමුණ ගන්නට සමත් විය.

ඉන්දුනීසියා ක්‍රීඩිකාවන් අන්ත අසරණ තත්ත්වයකට ඇද දැමු මේ ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකා මැද පෙළ ක්‍රීඩිකාවන් සියලුම දෙනාගේ ඒකාබද්ධ සහයෝගයක් හිමිවිය. මැදපෙළ ක්‍රීඩිකා චතුරිකා විජේසුරිය පමණක් තනිව වාර්තා කල ගෝල සංඛ්‍යාව 9ක්. ඊට පිටියේ සිට එල්ල කළ ගෝල 3ක්, දඬුවම් පහරකින් එල්ල කළ ගොලයක් සහ දඬුවම් කොන් පහර (Penalty Corners) 5ක් ඇතුලත් විය.

ඊට අමතරව ඉමේෂා වීරබාහු ගෝල 5ක් එල්ල කරද්දී  ජයනෙත්ති ගෝල ත්‍රිත්වයකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෝල 19ට සිය දායකත්වය සපයන ලදී. ගීතිකා ගන්ගෙදර සහ චතුරිකා පනාවල ද එක් ගෝලය බැගින් ලබා ගත් අතර මුළු තරගය පුරාවටම ප්‍රතිවාදී ඉන්දුනීසියා ක්‍රීඩිකාවන්ට එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවන් ඉඩ ලබා දුන්නේ නැත.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 2016 ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය ආරම්භ කළේ ඔක්තෝම්බර් මස පළමු වැනිදා උස්බෙකිස්තානය සමග පැවති තරගයෙනුයි. චතුරිකා විජේසූරිය වාර්තා කල ගෝල ත්‍රිත්වය ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ ජයග්‍රහණය පහසුවෙන් තහවුරු කර ගැනීමට සමත් විය. එහිදී උස්බෙකිස්ථාන ක්‍රීඩිකාවන්ද එක් ගෝලයක් වාර්තා කල අතර තරගයේ අවසන් ලකුණු තත්ත්වය සටහන් වුනේ ගෝල 3 – 1 ක් ලෙසිනුයි.

සිවු වන ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් එක්ව සිටින අතර ශ්‍රී ලංකාව සහභාගී වන කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් වන්නේ උස්බෙකිස්ථානය, ඉන්දුනීසියාව සත්කාරක තායිලන්තය සහ චීන තායිපේ කණ්ඩායමයි. ශ්‍රී ලංකාව තරග 2කදී ජයග්‍රහණ 2ක් සහ ප්‍රසාද ලකුණු 6ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි. හිටපු ශූරියන් වන චීන තායිපේ කණ්ඩායම සහ තායිලන්තය ලකුණු සටහනේ දෙවන සහ තුන්වන ස්ථාන වල පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) තායිලන්ත වේලාවෙන් පස්වරු 7ට සත්කාරක තායිලන්ත ක්‍රීඩිකාවන් සමග තරග වැදීමට නියමිත අතර, හෙට දිනයේ තායිලන්ත වේලාවෙන් පස්වරු 5ට තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් වන චීන තායිපේ ක්‍රීඩිකාවන් සමග තරග වැදීමට නියමිතව ඇත.

පළමු වටයේ තරග ප්‍රතිපල අනුව කාණ්ඩ වල පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතයි.

දැනට අක්‍රීය තත්ත්වයේ පවතින ශ්‍රී ලංකා හොකී සංගමය සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර ඇතිවූ අර්බුධකාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වීම පැවතුනේ අවිනිශ්චිත තත්ත්වයකයි. කෙසේ වෙතත් තරගාවලියට පිටත්ව යාම සඳහා නියමිත කාලයට සුළු වෙලාවකට පෙර මෙම අර්බුධය සමථයකට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අදාළ තරගාවලියට සහභාගී වීම සඳහා අවස්තාව හිමි විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට