ආසියාව තරණය කරන දැල්පන්දු සංචිතය අළුත් වෙයි

496
Sri Lanka Netball captain Gayani Dissanayake

වත්මන් ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරියන් වන ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම, එළඹෙන මැයි මස 6 වැනිදා සිට 13 වැනිදා දක්වා කොරියාවේ ‘ජියොන්ජු සිටි’ හිදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි. ඒ සඳහා 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් තෝරාගෙන තිබූ අතර එය ක්‍රීඩිකාවන් 18ක් දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ.

දැල්පන්දුව තමරාගේ භාරයට

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස තමරා ලියනගේ මහත්මිය පත්කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වී තිබේ.

මූලික 30 දෙනා තෝරා ගනු ලැබුවේ ඉකුත් ජනවාරි 27 වැනිදා නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණයේ පැවති තෝරා ගැනීමේ සැසියකදීය. පසුව එය 18 දෙනෙකු දක්වා සීමා කරන ලද්දේය. දෙවැනි වටයේ දී ඉන් 12 දෙනෙකු සහ අතිරේක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු තොරාපත් කරගන්නා අතර ඔවුන්ගේ නම් ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ශූරතාවය දිනා ගත් වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරූ තමරා ලියනගේ මහත්මිය නැවතත් එම තනතුරට පත්ව තිබේ.

“මට අදයි (15) මේ පත්වීම සංගමයෙන් ලැබුණේ. ඊළඟ 21 වෙනිදා නාවලපිටියේ දී පුහුණු වීම් අරඹනවා.” ThePapare.com කළ විමසීමක දී තමරා මහත්මිය එසේ පැවසුවාය.

කෙසේ නමුත් ආසියානු තරගාවලියකට ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ දී කණ්ඩායමේ පුහුණුකාරිණිය පත්කිරීමකින් තොරව එය කෙසේ සිදුවූයේ දැයි සාධාරණ සැකයක් මතු කළ හැකිය. තමා පුහුණු කළ යුතු කණ්ඩායම සහ එහි ක්‍රීඩිකාවන් ගැන දල අදහසක් පුහුණුකාරීත්වයට තිබිය යුතුය.

මීළඟ ගැටලුව වන්නේ නව පුහුණුකාරිය පත්කර ඇත්තේ ආසියානු ශූරතාවලිය අවසන් වන තෙක් පමණක් වීමයි. ආසියානු ශූරතාවලියට දින 28කට පසුව ලෝක ශූරතා තරගාවලිය ඇරඹෙන අතර දින 28ක් තුළ තවත් පුහුණුකාරිනියක් පත්කොට කණ්ඩායම සුදානම් කිරීමේ හැකියාවක් පවතින්නේ දැයි යන ගැටලුව ද පැන නඟියි.

ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම, 2015 වර්ෂයේ ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරියන් වූ බැවින් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඔවුනට ලැබිණි. ඒ කණ්ඩායමේ නායකත්වය හිමිව තිබුණේ ගයනි දිසානායක හට වන අතර එහි පුහුණුකාරීත්වය දරනු ලැබුවේ, වත්මන් පුහුණුකාරිනී තමරා ලියනගේ මහත්මිය විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට සහභාගී වීම සඳහා බොට්ස්වානා රාජ්‍යය බලා එළඹෙන ජූලි මාසයේ දී පිටත් වේ.

ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවය කොරියාවේ දී ඇරඹෙන්නේ මැයි 06 වැනිදාය.

18 දෙනාගේ සංචිතය.

කවිතා රාජපක්ෂ, සපුමලී දිසානායක, ටී.එන්. හපුආරච්චි, චතුරි හේෂානි, චමුදි දිල්රුක්ෂි, පූර්ණි රුක්ෂානි, අකිලා සංජී, මල්ෂා රත්නායක, නිලූෂා වර්ණකුල, රශ්මි දිව්‍යාංජලී, සචිනි නිරූපිකා, ජනනි ඉස්මිරා, මන්දිරා සම්පත්, කවීෂා දෙව්මිණි, තරුෂි ඉලංගරත්න, නදී ප්‍රනාන්දු, හෂිනි පෙරේරා, නිර්මාණි පෙරේරා.      

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට