වසර 4ක් “සල්පිටි රයිගම් කෝරළ හටනේ” හිමිකරුවන් වූ පිළියන්දල මධ්‍ය විදුහල් ක්‍රීඩකයෝ මෙවරත් ජයග්‍රහණය අපේක්ෂාවෙන් පෙබරවාරි 24, 25 සහ 26 දිනයන් හි හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය සමඟ තරග කිරීමට සූදානමින් සිටියි. තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

පිළියන්දල ක්‍රීඩකයෝ පරදවන්න හොරණ තක්ෂිලාව සූදානමින්

ඉතිහාසයෙන් බිදක්

1887 වර්ෂයේ මාම්පේ ශ්‍රී සරණංකර හිමියන් විසින් ආරම්භ කළ මෙම විද්‍යාලය C. W. W කන්නන්ගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ නිර්මාණය වූ පළමු පාසල් 7 අතුරින් එක් පාසලකි.

G. විමලසේන විදුහල්පතිතුමන්ගේ කාලයේ දී මෙම විද්‍යාලයේ ක්‍රිකට් ආරම්භ වූ අතර මේ වන විට ජාතික තලය පවා නියෝජය කිරීමට හැකි මට්ටමේ ක්‍රීඩකයින් බිහි කර ඇති විද්‍යාලයකි.

ඒ අතරින් 1991 වසරේ පාසල් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් කාමන් මාපටුණ ප්‍රධාන තැනක් ගනී. ඔහු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තේරී පත් වූ ක්‍රීඩකයෙකු වන අතර රුවින් පීරිස් එවක ශ්‍රී ලංකා A කණ්ඩායමට තේරී පත් වූ තවත් ක්‍රීඩකයෙකි. ඊට අමතරව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තේරී පත්ව ඕස්ට්‍රේලියා සංචාරයක් සඳහා ද සහභාගී වූ පර්සි පෙරේරා එම විද්‍යාලයෙන් බිහි වූ තවත් දක්ෂ ක්‍රීඩකයෙකි.

වර්තමාන කණ්ඩායම

මෙවර කණ්ඩායමේ නායකත්වය පස්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක ගිම්හාන ධනුෂ්ක හට හිමි වී තිබේ. ඔහු මෙම තරගවාරයේ තරග 10ක් තුළ ලකුණු 750ක් ලබා සිටින්නේ පිතිකරණ සමාන්‍ය 35ක රඳවා ගනිමිනි.

ඡායාරූප 99 Events Facebook පිටුවෙනි
ඡායාරූප 99 Events Facebook පිටුවෙනි

මෙවර කණ්ඩායමේ උප නායකත්වය හිමි වී ඇත්තේ තරග 10කදී ලකුණු 430ක් ලබා ගනිමින් දකුණතින් පන්දුවට පහර දෙන සිව්වන වසරේ වර්ණලාභී හේෂාන් මදුසංඛ හටයි. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වා ඇති මොහු පසුගිය තරග වලදී කඩුලු 56ක් ලබා ගෙන තිබේ. 16 වන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ වැඩිම බලාපොරොත්තු තබා ඇති තවත් ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස චමෝද් සදරු හැඳින්විය හැකිය. පසුගිය තරග 10 තුළ ලකුණු 896ක් ලබා ඇති මොහු දෙවන වසරේ වර්ණලාභී දකුණත් පිතිකරුවෙකු මෙන්ම කණ්ඩායමේ පිතිකරණ බලඇණියේ ශක්තිමත් ක්‍රීඩකයෙකි. ඔහුගේ පිතිකරණ සමාන්‍ය 52.70ක් වේ.

වේග පන්දු  බල ඇණියට ශක්තියක් එක් කරන්නට පළමු වසරේ වර්ණලාභී මාධව නිමේෂ් හා සසංග ලක්ෂාන් කණ්ඩායමට එක්කර ඇති අතර දකුණත් පා දඟපන්දු යවන්නෙක් ලෙස ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීම සඳහා රුචිර අධිකාරී කණ්ඩායමට එක් කර තිබේ. මොහු මෙම තරගවාරයේ තරග 10කදී කඩුලු 18ක් පමණ ලබා ගෙන ඇත.

පුහුණු කාර්ය මණ්ඩලය

පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ වත්මන් විදුහල්පති දර්ශන උඩවත්ත මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාරව කටයුතු කරන්නේ කමල් ප්‍රියන්ත මහතා විසින් වන අතර කණ්ඩායම භාරව සිටින්නේ එම විද්‍යාලයේම ආදී ශිෂ්‍යයෙකු හා වර්තමාන ගුරුවරයෙකු ලෙස කටයුතු කරන අරුණ ලියනගේ මහතායි. ප්‍රධාන පුහුණුකරු ලෙස එරංග ගුණරත්න කටයුතු කරන අතර සහය පුහුණුකරු ලෙස විනෝෂ් පෙරේරා කටයුතු කරයි.

2001 සිට පැවැති තරග 15 අතරින් 2005, 2008 සහ 2009 වර්ෂ වලදී සම්පූර්ණ තරගාවලි 2ක් ජය ගෙන ඇති පිළියන්ද මධ්‍ය විද්‍යාලය මෙවර සටනට පිවිසෙන්නේ කලක් තිස්සේ ජය පැරදුමෙන් තොරව අවසන් වූ තරගයට තිත තබමින් ජයග්‍රහණය තමන් සතු කරගැනීමේ අපේක්ෂාවෙනි.

පිළියන්දල මධ්‍ය විද්‍යාලීය ක්‍රිකට් සංචිතය

ගිම්හාන ධනුෂ්ක (නායක), හේෂාන් මදුෂංඛ (උපනායක), චමෝද් සදරු, මල්ෂාන් ගුණතිලක, රුචිර අධිකාරී, සසංක ලක්ෂාන්, ජමිත් දිල්ෂාන්, ගයාෂාන් චතුරංග, පසිදු අවිශ්ක, මාධව නිමේෂ්, සුපුන් අලංකාර, උෂාන් දීමන්ත, තරුෂ රත්සර, කුෂාන් සෙනුර, පූර්ණ යාපා, හේසර දිල්කිත්, කසුන් ලහිරු, සදුන් සත්සර, රුසිරු අංජන, මෙනුර මුත්සඳ

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට