බේස්බෝල් ක්‍රීඩාවෙන් රට නැවත එකතු කරමු

293

ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමය (SLABSA) විසින් මෙම වසරේ (2019)  දී පැවැත්වීමට නියමිත “14 වැනි බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලිය” පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අද (20) Jetwing Colombo 7 හෝටලයේ දී පැවැත්විය.

බටහිර ආසියාවේ බේස්බෝල් ගැටුමට පෙර

මෙවර “බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” (West Asia Baseball Cup) පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දී ය.

එළඹෙන ජූලි මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම බේස්බෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පවත්වනු ලබන පළමු ජාත්‍යන්තර බේස්බෝල් තරගාවලිය ලෙස ඉතිහාස ගතවනු ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය සහ ඉරානය යන රටවල් මෙවර බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ තරග වදින අතර වර්තමානයේ ශූරතාවය හොබවන්නේ සත්කාරක ශ්‍රී ලංකාව යි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපති කිෂූ ගෝමස්, ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමයේ සභාපති සහ ආසියානු බේස්බෝල් සම්මේලනයේ බටහිර ආසියාවේ අධ්‍යක්ෂක ෆාසිල් හුසේන්, ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමයේ උප සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමයේ විධායක අධ්‍යක්ෂක ප්‍රියන්ත ඒකනායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේ කළමනාකරු සහ ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමේ හිටපු නායක අකලංක රණසිංහ සහ ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේ වත්මන් නායක සමීර රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්විනි.

මෙහි දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමයේ සභාපති සහ ආසියානු බේස්බෝල් සම්මේලනයේ බටහිර ආසියාවේ අධ්‍යක්ෂක ෆාසිල් හුසේන් මහතා මෙසේ පැවසීය.

“ඇත්තටම 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලිය පැවැත්වීමට සූදානම් බව පැවසීමට හැකි වීම මා ලැබූ භාග්‍යයක්. ශ්‍රී ලංකාවට බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වා දෙන්නේ වර්ෂ 1985 වසරේ දී ඇමරිකානු තානාපති කාර්යාලය මඟින්. එදා සිට මේ දක්වා ගතවූ වසර 33 තුළ ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායම විවිධ ජයග්‍රහණ මව්බිමට රැගෙන ඒමට සමත් වූ බව පවසන්න අවශ්‍යයි. ඒ වගේම වර්තමානයේ ශ්‍රී ලංකාව බටහිර ආසියානු කලාපයේ දෙවන ස්ථානය සහ ලොව බේස්බෝල් ක්‍රීඩා කරන රටවල් 127න් 41 වැනි ස්ථානය හිමිකර ගෙන සාර්ථකත්වය කරා පිය නගමින් සිටිනවා.”

ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමයේ උප සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ද මාධ්‍ය අමතමින් මෙසේ තම අදහස් ප්‍රකාශ කළේය.

“පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදු වූ සිදුවීමත් සමඟ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය දිහා බලලා අපි හිතුවේ මෙම තරගාවලිය පවත්වන්න බැරි වෙයි කියලා. නමුත් ඒ වෙලාවේ ෆාසිල් මහතා කිව්වා මේ තමයි තරගාවලිය පවත්වන්න අවශ්‍යම වෙලාව කියලා. ඉතින් අපි තීරණය කළා කොහොම හරි තරගාවලිය පවත්වනවා කියලා. අපි පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවෙන් සහයෝගය අරගෙන මෙම ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් මං රටට ආදරය කරන දේශප්‍රේමී මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තරගාවලියේ විස්තර සහ අපේ රට සුරක්ෂිතයි යන්න ජනතාව වෙත පවසන්න.”

තව දුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසා සිටියේය.

“1996 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් රට එක්කළ සේ මේ වසරේ දී බේස්බෝල් ක්‍රීඩාවෙන් රට නැවත එක්කරමු.”

ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට පවත්වන මෙම 14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ නිල ඩිජිටල් සහකරු ලෙස ThePapare.com අප තරග වාර්තා, ඡායාරූප සහ විශේෂ අවස්ථා ඔබ වෙත ගෙන ඒමට  සූදානමින් සිටි. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<