14වන ජාතික කඹ ඇදීමේ ශූරතාවය බද්දේගම දී

395
14th National Tug of War championship

ශ්‍රී ලංකා ජාතික කඹ ඇදීමේ සම්මේලනය විසින් පවත්වනු ලබන ජාතික කඹ ඇදීමේ තරඟාවලිය එළඹෙන දෙසැම්බර් 11 වැනිදා බද්දේගම කුමේ පොදු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.දිනයේ ප්‍රථම තරඟය පෙරවරු 10ට ආරම්භ වන අතර තරඟකරුවන්ගේ බර මැනීමේ කටයුතු පෙරවරු 7 සිට සිදුකෙරේ.

ලොව පුරා ආදීතමයන් විසින් සිදුකෙරුණු ක්‍රීඩාවක් සේ හැඳින්වෙන කඹ ඇදීමේ ක්‍රීඩාව,මේ දක්වා පරපුරෙන් පරපුරට පැමිණ ඇත.විටෙක ලී පත්තක් හෝ දෑත් පමණක් යොදාගනිමින් ශක්තිය මැන බැලීමේ ක්‍රීඩාවක් ලෙස මෙය පැවති අතර යම් නියම කරන ලද සීමාවකින් මෙපිටට ප්‍රතිවාදීන් ඇදගෙන ඒමෙන් ජය පරාජය තීරණය වීම සාමාන්‍ය ක්‍රමයයි.

අතීතයේදී පැවති ඔලිම්පික් උළෙලවලදී පවා ශක්තිය මැනබැලීමේ ක්‍රීඩාවක් ලෙස භාවිතයට ගෙන ඇති මෙම ක්‍රීඩාව,නූතන ඔලිම්පික් උළෙලයන් හිදී ද 1900 සිට 1920 දක්වා දක්නට ලැබුණු නමුත් අවාසනාවන්ත ලෙස 1920දී මෙම ක්‍රීඩාව ඔලිම්පික් තරඟවලින් ඉවත්කරනු ලැබීය.

2002 වර්ෂයේදී ජාත්‍යන්තර කඹ ඇදීමේ සම්මේලනයට (TWIF),ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) මඟින් ජාත්‍යන්තර පිළිගැනීම හිමිවිය.

ලොව අනෙකුත් රටවල් වල මෙන්ම ශ්‍රී ලංකාවේත් පුරාණ ක්‍රීඩාවක් ලෙස පැවති කඹ ඇදීමේ ක්‍රීඩාව,වසර සිය ගණනක් පුරාවට සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවයන්හිදී ප්‍රධාන තැනක් ගන්නා ක්‍රීඩාවකි.2004 වර්ෂයේදී පිළිගත් ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාව තුළ සැලකුම් ලද මෙම ක්‍රීඩාවේ පාලනය සඳහා 2005 වර්ෂයේදී ශ්‍රී ලංකා ජාතික කඹ ඇදීමේ සම්මේලනය හඳුන්වා දෙන ලදී.මේ වනවිට ජාතික මහා ක්‍රීඩා උළෙලේදී පවා දැකිය හැකිවන කඹ ඇදීමේ ක්‍රීඩාව,ආරක්ෂක සේවාවන් තුළ වඩාත් ප්‍රචලිතව ඇති අතර සිවිල් ක්‍රීඩා සමාජ කිහිපයක්ද තරඟ බිමේ සිටියි.

මෙවර,කණ්ඩායම් 12ක් පිරිමි අංශයෙන් තරඟවදින අතර කාන්තා අංශයෙන් කණ්ඩායම් 8ක් තරඟවැදීමට නියමිතයි.කාන්තා කණ්ඩායමක බර කි.ග්‍රෑ.540ට අඩුවිය යුතු වන අතර පිරිමි කණ්ඩායමක බර කි.ග්‍රෑ.640කට නොවැඩි විය යුතුය.මේ දක්වා 13වන ජාතික තරඟාවලියේ ශුරතාවයත් දිනා සිටින ගුවන් හමුදා කණ්ඩායම වත්මන් ශූරයන් වුවද ඕනෑම ක්‍රීඩාවකදී අභියෝගාත්මක විය හැකි යුධ හමුදා ක්‍රීඩා සමාජය විසින් ඔවුනට දැඩි තරඟයක් ලබාදෙනු ඇත.