SAG 2019 – නේපාලයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මොකද වුනේ?

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019

178

මෙවර නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වත්මන් තත්වය සහ ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (01) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල සහ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා එක්ව නේපාලයේ දී පවත්වනු ලැබීය.

SAG2019 – දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹේ; නදීකා සිංහ ධජය සමඟ පෙරමුණේ

2019 වසර අවසානයේ පැවැත්වෙන දැවැන්ත ක්‍රීඩා සැණකෙළිය වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක………..

නේපාලයේ Kathmandu සහ Pokhara නගර කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා එක්වන මුළු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 568කි. ඒ අනුව ඉන් වැඩි දෙනෙක් මේ වන විටත් නේපාලය බලා පිටත්ව ගොස් සිටින අතර ප්‍රබල පිහිනුම් සංචිතය සහ තවත් කණ්ඩායම් කිහිපයක් ඉදිරි දිනවල දී නේපාලය බලා පිටත්ව යාමට ද නියමිත ය. 

දුර්වල දක්‍ෂතාවන්

ක්‍රීඩා උළෙලේ නිල සමාරම්භයට පෙර තරගාවලියේ වොලිබෝල් තරග ආරම්භ වූ අතර ඊට එක්වූ ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා වොලිබෝල් කණ්ඩායම් දෙකම 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී එම ඉසව් ද්විත්වයේම රිදී පදක්කම දිනා ගන්නට සමත් වූහ. 

කෙසේ නමුත් ඊට එක්වූ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම ඉතා කණගාටුදායක ලෙස එහි අවසන් පූර්ව තරගයේ දී සත්කාරක නේපාලය හමුවේ පරාජයට පත්වීම නිසා ඔවුන්ට එහි රන් පදක්කම සඳහා තරග කිරීමට තිබූ අවස්ථාව ගිලිහී යන්නට විය. 

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මුතුගල මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශයට වඩා සත්කාරක නේපාල කණ්ඩායම ඉතා උපායශීලීව හොඳ සැලැස්මක් සහිතව ක්‍රීඩා කිරීම ඔවුන්ගේ මෙම පරාජයට හේතු වූ බවයි. 

SAG2019 – තෙවැනි ස්ථානයේ සටනට ශ්‍රී ලංකාවට අවස්ථාව

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් අවසන් පූර්ව තරග අද (30) ශ්‍රී ලංකා කාන්තා…………

ඒ අනුව මෙම තරග ඉසව්ව රිදී පදක්කමක් බලාපොරොත්තු වූ තරග ඉසව්වක් වුවත් මෙම පරාජයත් සමඟ දැන් ඔවුන්ට ලබා ගත හැකි එකම ජයග්‍රහණය ලෝකඩ පදක්කමක් වන අතර එම තුන්වැනි ස්ථානය සඳහා වන තරගය මාලදිවයිනට එරෙහිව පැවැත්වීමට නියමිත ය.

“ඊයේ (30) පැවැත්වුණ කාන්තා වොලිබෝල් තරගය නිරීක්ෂණය කර විශ්ලේෂණය කිරීමෙන් පසුව අපි කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් දෙකේම පුහුණුකාර මණ්ඩලය ගැන නැවත සිතා බලනවා. ඒ කණ්ඩායම් දෙකටම විදේශීය පුහුණුකරුවන් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට විශේෂයෙන් තීරණය කරන්න වෙනවා එහි යම්කිසි වෙනසක් සිදු විය යුතු ද කියලා.” මුතුගල පැවසීය.  

ගුවන් ගමන් ප්‍රමාද

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන ගිය ගුවන් යානා රැසක්ම නේපාලය බලා ගොඩබැස්වීමේ දී ගුවන් තදබදය සහ එහි පැවති අධික මීදුම සහිත තත්වය හේතුවෙන් සුළු හා විශාල ප්‍රමාද වීම් රැසකට මුහුණ දෙනු ලැබීය. 

නේපාලය තුළ වායු දූෂණය ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඒ අනුව තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම අදාළ නිලධාරීන්ට ද සෑම අවස්ථාවක දී ම මුඛ ආවරණ පැලඳ සිටීමට ද සංවිධායකයින් උපදෙස් දී ඇත. 

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ද වායු දූෂණය ඉතා ඉහළ මට්ටමක පවතින අතර එහි බලපෑම කෙතරම් ද යත් ගොල්ෆ්, මේසපන්දු සහ කඩු හරඹය ක්‍රීඩා ඉසව්වලට අයත් කණ්ඩායම් රැගත් ගුවන් යානයට එහි ගුවන් තොටුපළෙන් පිටත් වීමට ද නොහැකි විය. ප්‍රමාද වීම් රැසකට පසුව එම කණ්ඩායම් වෙන්කොට වෙනත් ගුවන් යානා දෙකකින් නේපාලය බලා රැගෙන ඒමට කටයුතු සම්පාදනය කෙරිණි.  

“මේ පිළිබඳව සුළු අප්‍රසාදයක් අදාළ කණ්ඩායම් විසින් පළකර සිටියත් ඒ හරහා ඔවුන්ගේ තරග ඉසව්වලට කිසිම ආකාරයේ බලපෑමක් එල්ල වුනේ නැහැ. මොකද ඔවුන්ගේ තරග ඉසව් පැවැත්වෙන්නේ තරමක් පසු දිනවල දී.” මුතුගල සහතික කරමින් පැවසීය. 

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසරණයි?

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කගෙන් පමණ සමන්විත ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය 29 වැනි දින පස්වරු 5ට පමණ කත්මණ්ඩු නුවර බලා පැමිණීමෙන් අනතුරුව දීර්ඝ වීසා සහ ආගමන ක්‍රියා පටිපාටියකට ලක්කොට අවසානයේ ඔවුන්ට නියමිත හෝටල්වලට යොමුකිරීමට කටයුතු කරන ලදි. කෙසේ නමුත් මෙම කණ්ඩායමට මෙහි දී අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදු විය. 

“මෙම ප්‍රශ්නයත් අනෙක් ප්‍රශ්න බොහොමයක්ම වගේ අපිට පාලනය කළ හැකි එකක් නොවෙයි. අපේ ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කරලා තිබුණේ අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපි තීරණය කරනු ලබන හෝටලයක නවත්තලා ඔවුන්ට අදාළ ගමන් පහසුකම් පවා ලබා දෙන්න. නමුත් දකුණු ආසියානු තරගාවලියේ සංවිධායක කමිටුව අපිට පසුව දැනුම් දුන්නා ඒ වගේ පෞද්ගලික සූදානම් කිරීම් සඳහා අවසරයක් නොමැති බවත්, ඔවුන් අඩු මුදලකට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා එම පහසුකම් ලබා දෙන බවත්. 

අනතුරුව අපි නේපාල ඔලිම්පික් කමිටුවට ආසියානු ඔලිම්පික් කමිටුව හරහා රුපියල් මිලියන 73ක මුදලක් ලබා දීමට කටයුතු කළා. ඒ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තාක්ෂණික නිලධාරීන්ට එක් දිනක් සඳහා ඇමෙරිකානු ඩොලර් 35ක මුදලක් වන පරිදි.” මුතුගල පැවසීය. 

එම හෝටල් සියල්ලම නගරය අවට ප්‍රදේශයේ පිහිටා තිබූ අතර ඒවා තුළට යාම සඳහා තිබූ පාරවල් ඉතා පටු වීම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ ගමන් මළු රැගෙන ගිය රථවාහන වලට ඒවා කරා ළඟා වීමේ හැකියාවක් තිබුණේ නැත. ඒ අනුව රාත්‍රී 9ට පමණ අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තමාට නියමිත හෝටල් කරා සිය ගමන් මළු ද රැගෙන මීටර 200ක පමණ දුරක් ඇවිද යාමට සිදු විය. 

මුතුගල මේ පිළිබඳව සිය අප්‍රසාදය පළකරමින් නේපාල ඔලිම්පික් කමිටුවට විද්‍යුත් තැපැල් පණිවිඩයක් යොමුකිරීමට කටයුතු කර ඇති අතර ඉදිරි දිනවල දී එවන් අපහසුතා මඟහරවා දීමට කටයුතු කරන ලෙසත් ඔහු එහි දී ඉල්ලා ඇත. 

“අපි අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹ සිට නේපාලය දක්වා රැගෙන ආවේ ‘charter flights’ වලින්. මොකද ‘connecting flights’ වල තිබෙන දීර්ඝ ගමන හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපහසුතාවයට ලක්වන නිසා. ඒ අනුව අපි හැම දෙයක්ම අපිට හැකි උපරිමයෙන් සිදු කළත් සත්කාරක නේපාලයේ සංවිධානය මේ දක්වා ඉතාමත් දුර්වල යි.” වැඩිදුරටත් අදහස් දක්වමින් මුතුගල පැවසීය. 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට නිලධාරීන් 100 දෙනෙක්?

තරගාවලියට ඇතුළත් විය යුතු ක්‍රීඩකයින්ගේ මුදල් සහ පහසුකම් ලබා ගනිමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නිලධාරීන් 100කගෙන් යුත් නම් ලැයිස්තුවක් ඇතුළත් කිරීමට අදාළව එල්ල වන චෝදනා මුතුගල මෙහි දී තරයේ ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. 

එමෙන්ම ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ අවසාන ලැයිස්තුව සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් 17ක්, විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5ක් හා ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික තේරීම් නිලධාරීන්, දකුණු ආසියානු තරගාවලියේ කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් සහ ක්‍රීඩා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළුව එම ආයතනවලින් නිලධාරීන් 24ක් පමණක් අවසන් ලැයිස්තුව සඳහා ඇතුළත් කරනු ලැබූ බවයි. 

ඒ අනුව තරගාවලිය සඳහා අනුමත වී ඇති මුළු නිලධාරීන් සංඛ්‍යාව 46කි.

SAG2019 – ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රබලයෝ තරග වදින කාලසටහන මෙන්න

13 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය (SAG) අද (01) නේපාලයේ කත්මන්ඩු හිදී ආරම්භ වීමට නියමිතයි.

නේපාලයේ දුර්වල සංවිධානය

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල අද පස්වරු 4.30ට පවත්වන ලදී. මෙම උළෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම නිලධාරීන්ට ද ඉතා උත්කර්ෂවත් උළෙලක් විය යුතුව තිබුනත් ඒ සඳහා තිබූ සූදානම පිළිබඳව සෑහීමකට පත්විය නොහැක. 

එහි සංවිධාන කටයුතු කෙතරම් දුර්වල තත්වයක පැවතියේ ද යත් තරග කාලසටහන පෙර දිනයේ රාත්‍රියේ පමණක් මුද්‍රණය කෙරීමට කටයුතු සිදු කරනු ලැබූ අතර තවදුරටත් සමාරම්භක උළෙලට අදාළ වේලාවන් අදාළ සංචිතවලට දැනුම් දෙනු ලැබුවේ ද පෙර දිනයේ රාතියේ ය. එමෙන්ම තරගාවලිය සඳහා යොදා ගනු ලබන ක්‍රීඩාංගණ කිසිවක් මේ වන විට ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීමට ද ඔවුන් සමත්ව නැත. 

ජාතික ඔලිම්පික් කමිටුව පෙර අවස්ථාවන් වලදී නේපාලය බලා ගිය විට දී මෙම ගැටලු පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් විමසා නොසිටියේ ඇයි ද යන්න විමසමින් ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප්‍රකාශ කර සිටියේ;

“තරගාවලියට පෙර අවස්ථාවන් 3ක දී වගේ අපි නේපාලයට පැමිණියා. මම දැක්කා සංවිධායක මණ්ඩලය අදාළ සූදානම් කිරීම්වල දී කෙතරම් පසුපසින් ද සිටින්නේ කියලා. ඉතින් මම සියලුම ක්‍රීඩකයින්ට වගේම අදාළ සියලු දෙනාටම දැනුම් දී සිටියා මෙම තරගාවලිය හැමදෙනාටම එතරම් පහසු එකක් නොවන බව. පසුව ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශය මෙම තත්වය යටතේ වුවද ඇති හොඳම හෝටල් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීමට කටයුතු කිරීමට මූලිකත්වය දුන්නා.”

නේපාලය ඔවුන්ට හැකි උපරිමයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම්වලට සලකනවා. නමුත් අපිට නේපාලයේ ක්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. තියෙන දුර්වල, අපහසු තත්වයෙන් උපරිමය ලබාගැනීමට අප උත්සාහ කළ යුතුයි.”

මෙම ගැටලු සියල්ල සලකා බලන විට ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැමට බලාපොරොත්තු තබා ගත හැක්කේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය මාතෘ භූමියට තිලිණ කරනු ලබන පදක්කම් පිළිබඳව පමණකි. 

ඒ අනුව නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අවසානය දක්වාම ඡායාරූප, වීඩියෝ පට, ප්‍රතිඵල සහ පුවත් ඇතුළු තවත් බොහෝ දේ දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<