නේපාලයේ අභියෝගය ගැන බලධාරීන් කතා කරයි

64

ශ්‍රී ලංකා ක්‍රීඩාවේ ඉදිරි කටයුතු සහ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ දී මුහුණ දීමට සිදු වූ අභියෝගයන් සම්බන්ධව මාධ්‍ය හමුවක් අද (16) ජාතික ඔලිම්පික් කමිටු ආයතනයේ දී පැවැත්විය.

ශ්‍රී ලංකාව SAG සඳහා සහභාගී වූ ආකාරය සහ එහි දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අභියෝග ඇතුළු කරුණු ගැන මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අතර විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් කටයුතු ඉටු කිරීම සඳහා නිසි අවස්ථාවක් හිමි නොවීම ගැනත් එහි දී අදහස් පලවිය. 

ඒ පිළිබඳ අදහස් දැක්වූ බලධාරීන් නේපාලයේ දී පිහිනුම් තරග සිදු වූ පිහිනුම් තටාකවල තත්වයන් පිළිබඳව අදහස් දැක්වූ අතර අවසන් මොහොත දක්වා එම පිහිනුම් තටාකවල ඉදිකිරීම් කටයුතු අවසන් නොවී තිබීම හේතුවෙන් නේපාල බලධාරීන් සමඟ සාකච්ඡා කොට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවශ්‍ය කරන පහසුකම් සපයා දුන් බව ඔවුන් පවසා සිටියා.

එසේම නේපාලයේ කාලගුණික තත්වයන් සහ වායු දූෂණ තත්වයන් ද සමඟ පොර බඳිමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග කරන විට දී ඒ පිළිබඳව ද සොයා බලමින් ඩෙංගු රෝගය වැළදීමෙන් ක්‍රීඩා කිරීමට නොහැකිව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන සොයා බලමින් වෛද්‍ය කටයුතුවල නිරතවුණු වෛද්‍යවරුන්ට ද ඔවුන් ස්තූති කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සහ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි දම්පත් ප්‍රනාන්දු ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී විය. 

එහි දී රැස්ව සිටි මාධ්‍ය ඇමතූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ශ්‍රී ලංකා වෙනුවෙන් මෙවැනි කීර්තියක් අත්කරදුන් සියලු ක්‍රීඩකයින්ට ස්තූතිවන්ත වීමට ද අමතක කළේ නැත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<