රන් මහා සටනේ වාසිය ඩී. එස් අතට හැරෙයි

200

දිවයිනේ ප්‍රචලිත පාසල් ක්‍රිකට් මහා තරග අතර ඉදිරියෙන් සිටින කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය එකිනෙකා හා සටන් වදින 13 වැනි රන් මහා සටන ඊයේ (29) දින කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ විශාල ප්‍රේක්ෂකයින් පිරිසකගේ ද සහභාගිත්වය ඇතිවයි. තරගයේ මුල් දිනය නිමාවට පත්වන විට පිතිකරණ අංශයෙන් ඉහළ දක්ෂතා පෙන්නුම් කළ ඩී. එස්. සේනානායක විද්‍යාලය තරමක් ඉදිරියෙන් සිටින්නේ තරගකාරී දෙවැනි දිනය සඳහා ජයග්‍රාහි මාවතකට ගමන් කිරීමේ පසුබිම සකසා දෙමිනි.

සාන්ත ජෝසප් හා සාන්ත තෝමස් විද්‍යාලය අවසන් 4ට

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටිය තවදුරටත් උණුසුම් කරවන සිංගර් කුසලාන වයස…..

මෙම විද්‍යාල ද්විත්වයේ මහා ක්‍රිකට් තරග පිළිබඳ ඉතිහාසය දෙසට හැරී බැලීමේ දී මෙතෙක් පැවති තරග 12 අතරින් 2014 වර්ෂයේ තරගය පමණක් ජය ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් වී තිබෙන අතර අනෙක් සියලුම තරග ජය පැරදුමකින් තොරව අවසන් ව ඇත්තේ මහානාම විද්‍යාලයට ජයග්‍රහණයේ රසය බැලීමට අවස්ථාවක් මෙතෙක් උදා නොකරවමිනි. මීට අමතරව කණ්ඩායම් දෙකේ වත්මන් දක්ෂතා සලකා බැලූ විට ඩී. එස් ක්‍රීඩකයින් මෙවර 19න් පහළ පාසල් ක්‍රිකට් සමයේ දී තරග 15කට සහභාගි වෙමින් පූර්ණ ජයග්‍රහණ 5ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 5ක් ලබාගෙන ඇති අතර මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හමුවේ පමණක් පරාජයට ලක් විය.

2018/2019 පාසල් ක්‍රිකට් තරග වාරයේ මේ දක්වා තරග 13කට මුහුණ දී ඇති මහානාම විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ 2ක් සහ පරාජයන් දෙකක් අත්විඳ ඇති අතර පළමු ඉනිමේ ජයග්‍රහණ 8ක් තමන් සතුකර ගන්නට ද ඔවුන් හට හැකි වී තිබේ. ක්‍රීඩකයින්ගේ පෞද්ගලික දක්ෂතා සැලකීමේ දී ඩී. එස්. කණ්ඩායම වෙනුවෙන් මුදිත ලක්ෂාන් ලකුණු 1318ක් ද, මහානාම පිළ වෙනුවෙන් පවන්ත වීරසිංහ ලකුණු 926ක් ද රැස් කරගනිමින් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. පන්දු යැවීමේ දී ඩී. එස්. සේනානායක විදුහලේ මෙතුශාන් කුමාර කඩුලු 79ක් ද, මහානාම විද්‍යාලයේ සොනාල් ගමගේ කඩුලු 41ක් ද දවාගෙන කඩුලු ලාභීන් අතර ඉදිරියෙන්ම සිටියි.

​මැංගුස් සටන් ඉතිහාසය වෙනස් කරන්නට සූදානම් වන 61 වැනි හටන

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර පැවැත්වෙන මැංගුස් හටන……

මහනාම විද්‍යාලයීය නායක පැතුම් බොතේජු තරගයේ කාසියේ වාසිය දිනා ගත් අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා සිය ප්‍රතිවාදී ඩී. එස් ක්‍රීඩකයින්ට ඔහු ඇරයුම් කළේය. ඔවුන් තරග පළමු දිනයේ සන්ධ්‍යා කාලය දක්වාම පන්දුවට පහර දෙමින් පන්දුවාර 84යි පන්දු 2ක් වැය කරමින් කඩුලු 9කට ලකුණු 244ක් රැස්කර ඉනිම අත්හිටවූයේ මෙවරත් මහානාම විද්‍යාලයට පූර්ණ තරග ජයක් වෙනුවෙන් තිබූ අවස්ථාව සෑහෙන දුරකට අහුරා දමමිනි.

මෙහි තිබූ විශේෂත්වයක් වන්නේ ඩී. එස් ඉනිමේ ආරම්භක කඩුලු ත්‍රිත්වය ඉතා ඉක්මනින් දැවී ගිය ද ඉතිරි කඩුලු හත තුළ දී ඉහළ ලකුණු පුවරුවක් ගොඩ නැගීමට ඔවුන්ට හැකි වීමයි. ආරම්භක පිතිකරු අභිෂේක් ලියනාරච්චි ලකුණු නොලබාම දුවද්දී දැවී යාමකට හසු වූ අතර නායක පසිඳු ආදිත්‍යය ද අද දිනයේ දැවී ගියේ ලකුණු ලබා ගැනීමකින් තොරවයි. මීට අමතරව අංක 3 පිතිකරු සෙනාල් ජයසේන ද දුවද්දී දැවී යාම තරගයේ පළමු පැයේ ගෞරවය මහානාම විද්‍යාලයට ලබා දීමට හේතු විය. කෙසේ වෙතත් කණ්ඩායමේ සෙසු පිතිකරුවන් සියල්ලක්ම පාහේ හැකි අයුරින් තම වගකීම ඉටු කිරීම නිසා වැටුනු වළෙන් ගොඩ එන්නට ඩී. එස්. කණ්ඩායමට හැකි විය.

Photos: D.S. Senanayake College vs Mahanama College | 13th Battle of the Golds – Day 1

අද දිනයේ දී වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශනෙල් බාස්කරන් ලකුණු 66ක් වාර්තා කරමින් ඒ සඳහා පදනම සැකසූ අතර ඔහුට ද තම ඉනිම නිමා කරන්නට වූයේ සිය කණ්ඩායමේ දුවද්දී දැවී ගිය තුන්වැනි ක්‍රීඩකයා බවට පත්වෙමිනි. ශනෙල්ට අමතරව අද අනෙක් අර්ධ ශතක ලාභියා බවට පත්වූ සඳරු වික්‍රමරත්න ලකුණු 56ක් රැස්කර ගත්තේය. මීට අමතරව පසුපෙළ පිතිකරුවෙකු ලෙස මනින්ද්‍ර ජයතිලක ලබා ගත් ලකුණු 38 ද ඩී. එස්. ඉනිම පෝෂණය කිරීමට මහත් සේ උපකාරී විය. පන්දු යැවීමේ දී සේනානායක විද්‍යාලයේ බිඳ වැටුණු කඩුලු 9න් 3ක හිමිකාරත්වය ලහිරු විතාන හට හිමි විය. සොනාල් ගමගේ ලකුණු 56ට කඩුලු 2යි.

දිනය අවසන් වනවිට පන්දුවාර 8ක් සඳහා පන්දුවට පහර දී තිබූ මහානාම විද්‍යාලය කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 20ක් ලබා සිටියේය. ඒ හෙට දිනයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් තියුණු සටනක් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවන බවට ඉඟි පළ කරමිනි. දෙවැනි දිනයේත් සියලු තරග තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 244/9 (84.2) – ශනෙල් බාස්කරන් 66, සඳරු වික්‍රමරත්න 56, මනින්ද්‍ර ජයතිලක 38, අමිත දාබරේ 36, ලහිරු විතාන 3/52, සොනාල් ගමගේ 2/56.

මහානාම විද්‍යාලය – 20/0 (08)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<