රාජකීයයේ පසිඳු රාජකීය පිතිකරණයක

509

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර 139 වැනි වරටත්  පැවැත්වෙන නිල් මහා සංග්‍රාමයේ දෙවන දිනය අද (10) කොළඹ එස්. එස්. සී. පිටියේ දී ක්‍රියාත්මක විය.

අද දිනය තුළ රාජකීය විද්‍යාලයේ නායක පසිඳු සූරියබණ්ඩාර සහ කවිඳු මදරසිංහ දස්කම් දක්වන විට සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් කළණ පෙරේරා හා ඩෙලන් පීරිස් කැපී පෙනෙන දස්කම් දක්වන ලදි. ඊයේ දිනය නිමා වන විට රාජකීය විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 133ක් පසුපසින් සිටියේ කඩුලු 3ක් දැවී ලකුණු 33ක් ලබා ගනිමිනි.

කළණගේ කඩුලු ත්‍රිත්වයෙන් වැඩි වාසිය සාන්ත තෝමස් කණ්ඩායමට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය අතීතයකට හිමිකම් කියන මෙරට පැරණිතම පාසල් ක්‍රිකට් සංග්‍රාමය වන…

අද උදෑසන කාලය තුළ සාන්ත තෝමස් පන්දු යවන්නන් හට දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දුවට පහර දුන් නායක පසිඳු සූරියබණ්ඩාර හා වමතින් පිත්ත හසුරුවන කවිඳු මදරසිංහ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සබඳතාවයක් ගොඩනැංවූහ. එම සබඳතාවයට කළණ පෙරේරා විසින් තිත තැබුවේ, 4 පහර 6ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 46ක් ලබාගෙන සිටි පසිඳු සූරියබණ්ඩාර දවා ගනිමිනි. තරගයේ දෙවන දිනයේ පළමු කාර්තුව තුළ ක්‍රියාත්මක වූ පන්දුවාර 30 තුළ දී රාජකීය ක්‍රීඩකයෝ එක් කඩුල්ලක් දැවී ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වූහ.

දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ වන විට රාජකීය විද්‍යාලය වෙනුවෙන් කඩුල්ලේ රැඳී සිටියේ කවිඳු මදරසිංහ හා කවිඳු පතිරත්නයි. දිවා ආහාරයට පසුව ක්‍රියාත්මක වූ තෙවන පන්දුවාරයේ දී පන්දු 137ක් තුළ වර්ණවත් 4 පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබාගෙන රාජකීය මැදපෙළ ස්ථාවර කළ කවිඳු මදරසිංහ, පවිත් රත්නායකගේ පන්දුවක් හමුවේ මනීශ රූපසිංහ වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ඒ වන විට රාජකීය විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 104ක් ලබාගෙන තිබුණි. ඉන් අනතුරුව පිටියට පිවිසි දකුණතින් පිත්ත හසුරුවන තෙවිඳු සේනාරත්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ක්‍රීඩාගාරයට හැරී ගියේය.

සවස 2ට පමණ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර කළණ පෙරේරා ප්‍රමුඛ සාන්ත තෝමස් විද්‍යාල පන්දු යවන්නන් රාජකීය විද්‍යාලයේ 7, 8 හා 9 වැනි කඩුලු ත්‍රිත්වයම ලකුණු 24ක් තුළ දවා ගැනීමට සමත් විය. කෙසේ නමුත් රාජකීය විද්‍යාලයේ අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ මනුල පෙරේරා හා දිමාල් විජේසේකර අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 27ක අගනා සබඳතාවයක් ගොඩනංවමින් රාජකීය විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කළේය. පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ කළණ පෙරේරා ලකුණු 56කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ලකුණු 12ක පළමු ඉනිමේ වාසියක් ද සහිතව පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලය අයහපත් ආලෝක තත්ත්වය මත දෙවන දිනයට තරගය අවසන් කරන විට  සිය දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 3ක් ලබාගෙන සිටී.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 166/9d (64.3): සිතාර හපුහින්න 34, මන්තිල විජේරත්න 24, මනුල පෙරේරා 5/43.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 178 (75): පසිඳු සූරියබණ්ඩාර 46, කවිඳු මදරසිංහ 37,  දිමාල් විජේසේකර 23, කළණ පෙරේරා 5/56, ඩෙලන් පීරිස් 4/40.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 3/0 (6):

රාජකීය – සාන්ත තෝමස් නිල් මහා ක්‍රිකට් සංග්‍රාමයේ තෙවන හා අවසන් තීරණාත්මක දිනය හෙට (11) පැවැත්වෙන අතර තරගය ThePapare.com වෙබ් අඩවිය හරහා මෙන්ම ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 1 හා MY TV ඔස්සේ සජීව ලෙස නැරඹිය හැක. තරගයේ තොරතුරු, ඡායාරූප එසැනින් ඔබ වෙතට ගෙන ඒමට‍ ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<