කොළඹ පී. සරා ඕවල් පිටිය එකම ජය ඝෝෂාවකින් ගිගුම් දුන්, ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 11 වැනි රන් සටන අද (25) දිනයේ දී නිමාව දුටුවේ ජය පරාජයකින් තොරවයි. ඊයේ දිනයේ තරමක පසුබෑමකට ලක් වුවත් අද සාර්ථක ලෙස තරගයට පිවිසුණු ඩී. එස්. පිතිකරුවන්ට අද මහානාම ප්‍රථම  ඉනිම ආසන්නයටම ලඟා වීමට හැකි විය.

ප්‍රථම දිනය නිමාවෙද්දී මහානාමය පෙරමුණට

මෙවර තරගය ආරම්භ වීමටත් ප්‍රථම මාධ්‍යයේ අවධානය දිනා ගන්නට සමත් වූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන 11වැනි රන් සටන අද (24) කොළඹ පී. සරා ඕවල්…

දෙවැනි දිනයේ තරගය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 62ක් පමණක් ලබා සිටි ඩී. එස්. පිතිකරුවන්ට අද උදෑසනම එල්ල වී තිබුණේ සුළුපටු අභියෝගයක් නොවෙයි. ඒ ඔවුන් ඒ වන විටත් කඩුලු 6ක් පමණක් අතැතිව මහානාම ප්‍රථම ඉනිමට වඩා ලකුණු 209ක් පිටුපසින් පසුවුනු බැවිනි. නමුත් අද දිනයේ දී වඩාත් සාර්ථක පිතිකරණයක ලකුණු පළ කල ඔවුන් ලකුණු 268ක් දක්වා තම ඉනිම ඉහළ නංවා ගන්නට සමත් වූහ. ඩී. එස්. ඉනිමේ සාර්ථකත්වය පසුපස සිටි දැවැන්ත සෙවනැල්ල බවට පත්වූ දකුණත් පිතිකරු මුදිත ලක්ෂාන් අද විශිෂ්ට ලෙස පන්දුවට පහර දෙමින් ලකුණු 98ක් රැස් කළේය. කෙසේ වෙතත් ඔහු අද තම ශතකයට ලකුණු 2ක් පමණක් ඉතිරිව තිබිය දී දැවී ගියේ ඩී. එස්. කඳවුර මොහොතකට නිහඬ කරමිනි.

මුදිතට අනගි සහයක් ලබා දුන් ශෙසාඩ් අමීන් අර්ධ ශතකයකින් තම විද්‍යාලයේ ලකුණු පුවරුව ඉහළ දැමීමට උපකාරී විය. මහානාම විද්‍යාලය වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ නිදූක වැලිකල අද තම පන්දු යැවීම නිමා කළේ ලකුණු 81කට කඩුලු 3ක් බිඳ හෙලමිනි. ඩී. එස්. පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හමුවේ මහානාම විද්‍යාලයෙන් ජයග්‍රහණය දුරස්ව ගිය අතර අද සන්ධ්‍යා කාලය එළැඹෙන විට තරගය ජය පරාජයෙන් තොරව නිමා වන බවට ලකුණු පහළ වී තිබුණි.

[rev_slider dfcc728]

 

කෙසේ වෙතත් ලකුණු 3ක සුළු ඉදිරියක් සමඟින් ඉනිම ඇරඹූ මහානාම පිතිකරුවන් දෙවැනි ඉනිමේදී ද තම දක්ෂතා විදහා දක්වමින් එක් කඩුල්ලකට ලකුණු 115ක් රැස් කළහ. ඒ පන්දුවාර 24යි පන්දු 3කට පමණක් මුහුණ දෙමින් වේගවත් පිතිකරණයක යෙදෙමිනි. මහානාම දෙවැනි ඉනිම වෙනුවෙන් පැතුම් බොතේජු නොදැවී ලකුණු 55ක් රැස් කරගත් අතර දිනය නිමා වීමට ආසන්නව තිබිය දී අර්ධ ශතකයක් ලබා සිටි කවිඳු මුණසිංහට තම කඩුල්ල අහිමි විය.

අද සන්ධ්‍යාවේ තරගය ජය පරාජයෙන් තොරව නිමා වන විට මහානාම විද්‍යාලය  ඩී. එස්. ප්‍රථම ඉනිමට වඩා ලකුණු 118ක් ඉදිරියෙන් පසුවිය. ඒ අනුව විද්‍යාල දෙක අතර රන් සටන ජය පරාජයෙන් තොරව නිමාවූ 10 වැනි අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත විය . තරගය ප්‍රතිඵලයක්  සහිතව නිමාවූ එකම අවස්ථාවේදී එම ජයග්‍රහණය  බිනුර ප්‍රනාන්දුගේ  නායකත්වයෙන් යුතු ඩී. එස්. සේනානායක විද්‍යාලයට  හිමිවිය. කෙසේ වෙතත් බොහෝ විට මෙවර ජයග්‍රාහකයෙකු තීරණය කල හැකිවීමට ඉඩ ඇති  එක්දින රන් සටන අප්‍රේල් මස 9 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිත නිසා දෙපිළේම ආධාරකරුවන් අතර සීතල යුද්ධය තවමත් නිමාවී නැති බවක් පෙනෙයි.

මහානාම විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 271 (පන්දුවාර 60): බිශාන් මෙන්ඩිස් 74, මලිඳු මදුරංග 70, නිදූක වැලිකල 41, විහාන් මුදලිගේ 37*, කවිඳු මුණසිංහ 22, විහාන් ගුණසේකර 6/100, මුදිත ලක්ෂාන් 2/83.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 97): මුදිත ලක්ෂාන් 98, ශෙසාඩ් අමීන් 55, නිදූක වැලිකල 3/81.

මහානාම විද්‍යාලය – එක් කඩුල්ලක් දැවී ලකුණු 115 (පන්දුවාර 24.3): පැතුම් බොතේජු 55*, කවිඳු මුණසිංහ 52.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට