මැලේසියාව හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

447

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා අද (06) මැලේසියාව සමඟින් තරග වැදුනි. එහි දී ලකුණු 72-54ක් ලෙස ජයග්‍රහණය කළේ මැලේසියානු කණ්ඩායමයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගය සඳහා සහභාගි වීමට අවස්ථාව නොලැබී ගියේය. 

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

2019 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවේ ශ්‍රී ලාංකික දස්කම් පසුගිය දින…

තරගාවලියේ කාණ්ඩ වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු කොරියාව, නේපාලය හා තායිලන්තය හමුවේ ජයග්‍රහණ වාර්තා කළ අතර සිංගප්පූරුව හමුවේ පරාජය වීම නිසා කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගෙන කාණ්ඩ වටය නිමා කරන ලදි. මැලේසියාව වර්තමාන ශූරියන් වන අතර ඔවුන් කාණ්ඩ වටයේ දී ඉන්දියාව, බෲනායි, හොංකොං, චීන තායිපේ කණ්ඩායම් සමඟින් තරග වැදුණු අතර ඔවුන් කාණ්ඩයේ ප්‍රථමයා වෙමින් එම වටය නිමා කළේය. 

පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල අභියෝගයක් මැලේසියාවට එල්ල කල අතර කරට කර ලකුණු පුවරුවක් දක්නට ලැබුණි. පළමු කාර්තුවේ ජයග්‍රහණය මැලේසියාව සතුවුවත් ලකුණු පරතරය වූයේ ලකුණු 4 කි. (මැලේසියාව 14 – 10 ශ්‍රී ලංකාව)

දෙවන කාර්තුවේ දී මැලේසියාව තරමක ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථාවන් මඟහරිමින් පන්දුව තමන් සතුව තබා ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන් ලකුණු පරතරය ක්‍රමයෙන් වැඩි කර ගත්තේය. එම කාර්තුවේ දී මැලේසියාව ලකුණු 18 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 11ක් පමණි. (මැලේසියාව 32 – 21 ශ්‍රී ලංකාව) 

දෙවන කාර්තුවේ දී ලබා ගත් පන්නරය උපයෝගී කරගනිමින් ලකුණු තත්ත්වය ක්‍රමයෙන් වැඩි කරගැනීමට මැලේසියානු කණ්ඩායම සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි. නමුත් දෙවන කාර්තුවට වඩා දක්ෂ ක්‍රීඩා රටාවක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ද සමත් වූ නිසා මැලේසියානු කණ්ඩායමට පරතරය වැඩි කරගත හැකි වූයේ ලකුණු 4කිනි. ඒ අනුව මැලේසියාව ලකුණු 20ක් තම ලකුණු පුවරුවට එක්කරගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 16කි. (මැලේසියාව 52 – 37 ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාවේ අපරාජිත ඔටුන්න ගැලවෙයි

2019 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ…

සිව්වැනි හා අවසන් කාර්තුව ලකුණු 15ක පරතරයකින් ආරම්භ කළ මැලේසියාව තරගය තුල තම ග්‍රහණය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගත්තේය. සිව්වැනි  කාර්තුවේ දී මැලේසියාව ලබා ගත් ලකුණු 20ට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 17ක් පමණි. ඒ අනුව අවසන් ලකුණු තත්ත්වය ලකුණු 72-54ක් ලෙස දැක්විය. (මැලේසියාව 72 – 54 ශ්‍රී ලංකාව) 

අවසන් තරගය මඟහැරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානය ලබාගැනීම සඳහා තරග වැදීමට නියමිතයි. 

2019 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<