“ගාලු ආදරවන්තයන්ගේ සටන් කෙරුවාවේ පැටිකිරිය: එදා සහ අද “

330

දකුණුලක ගාලු පුරවරවරයට වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම කැඳවමින් පැවැත්වෙන 113 වැනි ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 16 සහ 17 දෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. මේ ඒ සම්බන්ධයෙන් ThePapare.com තබන සටහනකි.

හැටහය වැනි මොරටු – සුමංගල මහා ක්‍රිකට් සටන ලබන 16 වැනිදා

මොරටුව මොරටු විද්‍යාලය හා ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැත්වෙන 66 වන මොරටු මහා ක්‍රිකට් සටන …

1905 දී ඇරඹෙන ආදරවන්තයන්ගේ තරගමාලාව 1910, 1911 සහ 1942 යන වසර ත්‍රිත්වයේ පවත්වා නැත. පැවති අනෙකුත් තරග අතුරින් රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය තරග 23 බැගින් ජයග්‍රහණය කළ බැව් “විකිපීඩියා සෙවුම් ගබඩාව” සඳහන් කරයි. ජය පරාජයෙන් තොරව නිමා වූ තරග සංඛ්‍යාව 64කි.

මෙකී ගණන් හිලව් සමඟින් වන ආදරවන්තයෙන්ගේ ඉපැරණි සැමරුම් ගාලු කොටු පවුර සේ ම අභිමානවත් ය.

ආදරවන්ත අතීතය

තරග ඉතිහාසය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ විනිසුරුවන් වී ඇත්තේ දෙවිදුහල් හී විදුහල්පතිවරුන් වන රිච්මන්ඩ් විද්‍යාලයේ ජේ. එච්. ඩැරල් පියතුමා සහ මහින්ද විද්‍යාලයේ එෆ්. එල්. වුඩ්වර්ඩ් මහතා ය. පළමු තරග ත්‍රිත්වයේ ජයග්‍රහණ රිච්මන්ඩ් ක්‍රීඩකයන් සතු වෙද්දී, මහින්ද විද්‍යාලය වෙනුවෙන් පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වී ඇති බවට පැවසෙන්නේ 1908 වසරේ දී ය.

වර්තමානය වෙද්දී රිච්මන්ඩ් විද්‍යාලය අවසන් වරට 2015 වසරේ දී සිතාර ගිම්හාන්ගේ නායකත්වය යටතේ ජයග්‍රහණය ලබමින් සහ මහින්ද විද්‍යාලය අවසන් වරට 2008 වසරේ දී රජිත් ප්‍රියාන්ගේ නායකත්වය යටතේ ජයග්‍රහණය ලබමින් ඉතිහාස ගත වී ඇත.

ආදරවන්තයන්ගේ සටන් ඉතිහාසයේ මෙතෙක් ශතක 15ක් වාර්තා වී ඇති අතර ඉන් ශතක 11ක් රිච්මන්ඩ්වරුන් සතු වන අතර මහින්දීයන් සතු වෙන්නේ 4කි. ඒ අතුරින් පළමු ශතකයේ හිමිකාරිත්වය මහින්ද විද්‍යාලය සතු වෙන්නේ 1939 වසරේ දී සිරිසේන හෙට්ටිගේ විසින් ලබා ගත් ලකුණු 155යි. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් පළමු ශතකයේ හිමිකාරිත්වය ජයන්ත ඩයස් සතු වෙන අතර ඔහු දෙවැනි ඉනිමේ දී ද ශතකයක් ලබා ගනිමින් ආදරවන්තයන්ගේ සටන් ඉතිහාසයේ තරගයක දී ශතක දෙකක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙසින් ඉතිහාස ගත වෙන්නේ ය.

ආදර සටන් ඉතිහාසයේ පෞද්ගලිකව රැස් කරනු ලැබූ හොඳම ඉනිමේ හිමිකාරිත්වය 1972 වසරේ දී ලකුණු 162ක් වාර්තා කළ මහින්ද විද්‍යාලයේ පී. එච්. කේ. එච්. රණසිංහ සතුව ඇති අතර රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් එහි හිමිකාරිත්වය 1972 වසරේ දී ප්‍රසාද් කාරියවසම් විසින් නොදැවී රැස් කරන ලද ලකුණු 156 ලෙසින් සටහන් වේ.

පන්දු යැවීමේ දී ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා වෙන්නේ මහින්ද විද්‍යාලයේ සෝමසිරි අඹවත්ත 1953 වසරේ දී ලකුණු 44කට ලබා ගත් කඩුලු 10යි. දෙවැනි ඉනිමේ දී ද ක්‍රියාත්මක වෙන ඔහු ලකුණු 61කට කඩුලු 5ක් දවා ගනිමින් සහ පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් නොදැවී ලකුණු 103ක් ද ලබා ගන්නේ ය. ඔහුගේ එම දක්ෂතාව ආදරවන්තයන්ගේ සටන් ඉතිහාසයේ ක්‍රීඩකයෙක්ගේ ඉහළම දක්ෂතාව ලෙසින් සටහන් වේ.

තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ 1922 දී රිච්මන්ඩ් විද්‍යාලයේ ආර්. එම්. එම්. ද සිල්වා විසින් ලකුණු 25කට ලබා ගත් කඩුලු 15යි. ඔහු පළමු ඉනිමේ දී ලකුණු 09කට කඩුලු 8ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 06කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. එමෙන්ම ඔහු පිතිකරුවෙක් ලෙසින් පන්දුවට පහර දෙමින් ලකුණු 97ක් රැස්කර ඇත. මෙම දක්ෂතාව මහින්ද විද්‍යාලයේ සෝමසිරි අඹවත්තගේ දක්ෂතාවට දෙවැනි වෙමින් තවමත් සුරැකි පවතී.

ආදරවන්තයන්ගේ සටන් ඉතිහාසය නියෝජනය කළ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබීම ද සුවිශේෂී වේ. ඒ අතරින් රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් චම්පක රාමනායක, චමිල ගමගේ, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග කිහිප දෙනෙකි. එමෙන්ම වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඉසිළු චරිත් අසලංක ද රිච්මන්ඩ්වරයෙකි.

මහින්ද විද්‍යාලය වෙනුවෙන් ජයනන්ද වර්ණවීර, අතුල සමරසේකර, උපුල් චන්දන, මාවන් අතපත්තු සහ ලසිත් මාලිංග වෙති.

රිච්මන්ඩ් විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ C කාණ්ඩය නියෝජනය කරමින් තරග 12කට සහභාගී වූ රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම, ඉන් තරග 6ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ අම්බලන්ගොඩ ධර්මාශෝක, පන්නිපිටිය ධර්මපාල, මාතර සාන්ත සර්වේශස්, මාතර සාන්ත තෝමස්, කොළඹ වෙස්ලි සහ කුරුණෑගල මලියදේව යන විද්‍යාලවලට එරෙහිවය. බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා සමඟ පැවති තරගයෙන් ඔවුන් පරාජය වී ඇත. සෙසු තරග ජය පරාජයෙන් යුතුව අවසන් කිරීමට ඔවුන් සමත් විය.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩකයන් අතුරින් පෙරමුණේ පසුවෙන්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් ය. හය වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා ලෙසින් ආදරවන්තයන්ගේ සටනට සහභාගී වන කමිඳු, මෙවර පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනුයේ තරග 5කට පමණි. එම තරගවල දී ශතක 4ක් සමඟින් කමිඳු රැස් කළ ලකුණු සංඛ්‍යාව 600 ඉක්මවා ඇත.

5 වැනි වසරේ වර්ණලාභී නායක ධනංජය ලක්ෂාන් ද මෙවර වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ද වේ. ඔහු කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව රැස් කළ ලකුණු 154ක් ද සමඟින් මෙවර රැස්කළ ලකුණු සංඛ්‍යාව 450 ඉක්මවා ඇත.

කණ්ඩායමේ උප නායකත්වය හිමි ව ඇත්තේ 5 වැනි වසරේ වර්ණලාභී තුන් ඉරියව් ක්‍රීඩක අවිඳු තීක්ෂණ හටය. ඔහුගේ දක්ෂතාවලට මෙවර ආදරවන්තයන්ගේ සටනේ දී වැඩි වටිනාකමක් හිමිවෙනු ඇත.

කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වන්නේ ආදිත්‍ය සිරිවර්ධන ය. ඔහු ලකුණු 700 සීමාව පසුකර ඇත. එමෙන්ම පළමු වසරට ක්‍රීඩා කරන දිලුම් සුධීර සහ තවීෂ අභිෂේක් ලකුණු 500 සීමාව ඉක්මවා ඇත.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ පන්දු බලඇණියේ ප්‍රමුඛයා වී සිටින්නේ දකුණතින් දඟපන්දු යවන සඳුන් මෙන්ඩිස් ය. ඔහු මේ දක්වා කඩුලු 65ක් දවාගෙන සිටී. ඔහුට අමතරව වමත් දඟපන්දු යවන ක්‍රීඩක දිලුම් සුධීර කඩුලු 60ක් ලබා ඇත. රිච්මන්ඩ්වරුන් අතරින් චමත් දිල්සර, තවීෂ අභිෂේක් සහ කමිඳු මෙන්ඩිස් අවශ්‍ය අවස්ථාවල දඟපන්දු යැවීමට සූදානමින් සිටී. වේගපන්දු යවන්නන් අතරින් අම්සි ද සිල්වා සහ නායක ධනංජය ලක්ෂාන් කෙරෙහි විශ්වාසය තබා ඇත.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම

ධනංජය ලක්ෂාන් (නායක), අවිඳු තීක්ෂණ (උප නායක), කමිඳු මෙන්ඩිස්, තවීෂ අභිෂේක්, සුගීත් නිමනද, විමුක්ති රත්නායක, දුවින් කලංසූරිය, ආකාශ් කාවින්ද, සඳුන් මෙන්ඩිස්, ආදිත්‍ය සිරිවර්ධන, විනුජ කිරිඇල්ල, දිලුම් සුධීර, අම්සි ද සිල්වා, විශ්මිත විජේසිරි, චමත් දිල්සර

පුහුණුකරු –  ධම්මික සුදර්ශන මහතා

ක්‍රිකට් භාර ආචාර්ය – එස්. ආර්. නානායක්කාර මහතා

මහින්ද විද්‍යාලය

මහින්ද විද්‍යාලය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් පැවති තරග අතුරින් අපරාජිතව සිටිමින් මෙවර ආදරවන්තයන්ගේ සටනට සහභාගී වෙති.  ඔවුන් කොළඹ ලුම්බිණි, කඳාන ද මැසිනොද්, මහනුවර සාන්ත සිල්වෙස්තර, මාතර සාන්ත තෝමස්, කුරුණෑගල මලියදේව, පන්නිපිටිය ධර්මපාල සහ කොළඹ සහිරා විද්‍යාලවලට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරගෙන ඇත.

මහින්ද විද්‍යාලයීය නායක තෙවැනි වසරේ වර්ණලාභී රෙශාන් කාවින්ද තුන්ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් මේ දක්වා සහභාගී වූ තරගවල දී ලකුණු 400 සීමාව පසු කර ඇති අතර කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා ද වේ. කණ්ඩායමේ වඩාත් අභිමානවත් ක්‍රීඩකයා වී සිටින්නේ උප නායක තෙවැනි වසරේ ක්‍රීඩක විනුර දුල්සර ය. කඩුල්ල පිටුපස මෙහෙවරේ ද නිරත විනුර මෙවර පාසල් ක්‍රිකට් වාරයේ දී ලකුණු 910ක් ලබාගෙන ඇති අතර ඔහු මෙවර ආදරවන්තයන්ගේ සටනට පිවිසෙන්නේ ලකුණු 1000 ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

කණ්ඩායමේ විශ්වාසවන්තම ක්‍රීඩකයා වී සිටින්නේ නවෝද් පරණවිතාන ය. වමතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරු භූමිකාවේ කටයුතු කරන ඔහු, නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ ශතක 3ක් සමඟින් ලකුණු 830ක් වාර්තා කර ඇත. එමෙන්ම කණ්ඩායමේ සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ කේ. කේ. කෙවින් සහ ආරම්භක වේගපන්දු යවන නිපුන් මාලිංග කෙරෙහි ද තබා ඇති විශ්වාසය සුළු පටු නොවේ.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කවිඳු එදිරිවීර නිමා වූ තරග සමයේ දී ලකුණු 800 සීමාව පසු කරමින් කඩුලු 50 සීමාව පසුකරමින් සිටී. කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වී සිටින්නේ වමත් දඟපන්දු යවන පසන් පෙතන්ගොඩ ය. ඔහු කඩුලු 70 සීමාවේ සිටී.

පසුගිය වසරේ නායක හංසික වැලිහිඳ ද තම දක්ෂතා සේ ම පසුගිය වසරේ අත්දැකීම් ද මේ තරගයේ දී කරළියට ගෙන එනු නියතය.  මීට අමතරව සුභානු රාජපක්ෂ සහ ප්‍රමිත් තෙවරප්පෙරුම ද ආදරවන්තයෙන්ගේ සටනේ දී තම දක්ෂතා එළිදැක්වීමට සූදානමින් සිටී.  

මහින්ද විද්‍යාලයීය කණ්ඩායම

රෙශාන් කාවින්ද (නායක), විනුර දුල්සර (උප නායක), හංසික වැලිහිඳ, අශාන් කණ්ඩම්බි, නවෝද් පරණවිතාන, අසේල ප්‍රියදර්ශන, සුභානු රාජපක්ෂ, කමිඳු එදිරිසිංහ, කේ. කේ. කෙවින්, ප්‍රමිත් තෙවරප්පෙරුම, නිපුන් මාලිංග, කවිඳු එදිරිවීර, පසන් පෙතන්ගොඩ, අශේන් ශාමික, ලහිරු භාෂණ

පුහුණුකරු – අනිල් රිදීගම්මනගෙදර

ක්‍රිකට් භාර ආචාර්ය – අරවින්ද රත්නායක

113 වැනි සටනේ තීරණය

පළපුරුදු ක්‍රීඩකයන් වැඩි පිරිසකගෙන් සමන්විත රිච්මන්ඩ් විද්‍යාලය පෙර වසරවල දී සේ ම මෙවර ද තමන් සන්තකව තිබෙන කුසලානය මේ වසරේදීත් තබා ගැනීමට සියලුම වෙර වීරියන් යොදනු ඇත. පුහුණුකරු ධම්මික සුදර්ශනගේ ප්‍රයෝගකාරී පුහුණුකාරිත්වයන් සමඟින් සන්නද්ධව සිටින රිච්මන්ඩ් ක්‍රීඩකයෝ තම දක්ෂතා එකින් එක මේ වෙද්දී පෙළගස්සවමින් සිටිනුයේ සති අන්තයේ එළඹෙන ආදරණීය සටනේ දී ප්‍රයෝජනයට ගනු පිණිසය.

එකී උණුසුමෙන් ඇවිලෙන 113 වැනි ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සහභාගී වෙන කණ්ඩායම් දෙකේ සියලුම සාමාජිකයන්ට ThePapare.com වෙතින් සුබ පැතුම් එක් කරනු ලබන අතර උණුසුම් වෙන තරගයේ පන්දුවෙන් පන්දුව සිදුවෙන් සිදූවීම් සජීවී ව ඔබ වෙත ගෙන ඒමට අප කටයුතු යොදා ඇති බැව් ද සතුටින් දැනුම් දෙමු. ThePapare.com, Dialog TV නාලිකා අංක 1 සහ My TV හරහා ඔබට නිවසේ දී ම ආදරවන්තයන්ගේ තරගයේ උණුසුම අත්විඳිය හැකිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<