දකුණු ආසියාව ජය ගන්න යන 111කින් යුත් ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම

238

ඉන්දියාවේ බැංගලෝර් නුවර දී ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තුන්වැනි දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 111 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.

2018 වසරෙන් නව වසරට පිහිනා යාමට පෙර

මෙම තරගාවලිය පිහිනුම්, වෝටර් පෝලෝ, දිය පිනුම් සහ දිගු දුර විවෘත පිහිනුම් ලෙස ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ පැවැත්වේ.

පිහිනුම්

තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වන අංගය වන පිහිනුම් ඉසව්වන් සඳහා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා පත් කරගෙන ඇත. මෙම වසරේ තෙවැනි සහ සිව්වැනි කාර්තුවල දී පැවැත්වුණු ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය, ජාතික සහ ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලියන් හී පෙන්වූ දක්ෂතා පදනම් කරගනිමින් මෙම සංචිතය නම් කර තිබේ.

වෝටර් පෝලෝ

දෙසැම්බර් 19 වැනිදා සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාක සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ තෝරා ගැනීමේ තරගාවලියකින් අනතුරුව එහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදහා දැක්වූ කුසලතාවන් සැලකිල්ලට භාජනය කරමින් මෙවර දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය සඳහා වන කාන්තා සහ පිරිමි වෝටර් පෝලෝ කණ්ඩායම් නම් කරනු ලැබීය.

දිය පිනුම් (ඩයිවින්)

මෙවර තරගාවලිය සඳහා පිටව යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20දෙනෙකුගෙන් සන්නද්ධ දිය පිනුම් කණ්ඩායම මූලික වශයෙන් තෝරා ගනු ලැබුවේ ජාතික වයස් කාණ්ඩ දිය පිනුම් ශූරතාවලියේ සෑම වයස් කාණ්ඩයකම පළමු සහ දෙවන ස්ථාන හිමි කරගත් ක්‍රීඩක දෙපල සහ ජාතික සහ ජාතික කනිෂ්ඨ ජල ක්‍රීඩා ශූරතාවලියේ ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොදා ගනිමිනි.

දිගු දුර විවෘත පිහිනුම්

මෙම වසරේ අප්‍රේල් මාසයේ දී ගාලු මුවදොර සහ අම්බලන්ගොඩ මුහුදු තීරයන් හීදී අදියර දෙකකින් පැවැත්වූ කි.මි.5 මුහුදු පිහිනුම් තරගාවලිවල දී කැපී පෙනෙන දස්කම් පෙන් වූ තරගකරුවන් දකුණු ආසියානු තරගාවලිය සඳහා තෝරා ගෙන තිබේ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<