ලකුණු 1000 පසුකර ගිය ගාල්ලේ ක්‍රිකට් තරුව

1802
Navod Paranavithana

පුරෝකථනයෙන් ක්‍රීඩකයෙකු ගැන අනාවැකි ප්‍රකාශ කළ හැකි පුහුණුකරුවෙකු යනු ඔහු අත්දැකීම් සමුදායකට උරුමකම් කියන්නෙකි. ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු වන ලකී අරඹවෙල ද එවැනි අනාවැකියක් ප්‍රකාශ කළ අත්දැකීම් බහුල පුහුණුකරුවෙකි.

ThePapare.com අප කතා කරන්නට යන්නේ ලකී අරඹවෙල අනාවැකි පවසන ලද ක්‍රීඩකයෙකු පිළිබඳවයි.

පියා සමඟ සිය වැඩිමල් සහෝදරයාගේ ක්‍රිකට් තරගයක් බැලීමට පැමිණි ඔහු, තරගයේ විවේක කාලයේ දී අහුලා ගත් ලෙදර් පන්දුවක් වමතින් තම පියාට විසි කරන්නේ අනාගතයේ දිනන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ හැඟීම සිය පියාට ජනිත කරවමිනි.

එලෙස පන්දුව විසි කළ තම මද්දුමයාගේ උපතින් ගෙන ආ හැකියාවක් ඇති බව තේරුම් ගත් පියා තම වැඩිමහල් පුතුගේ පුහුණුකරු වූ රොඩ්නි ප්‍රදීප් වෙත ඔහුව රැගෙන යන්නේ උපතින් ගෙන ආ දක්ෂතාව දියුණු කිරීමේ අධිෂ්ඨානයෙනි.

ඒ අනුව මේ පුංචි කොලුවා මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් පුහුණු කඳවුරට යොමු වන්නේ රොඩ්නි ප්‍රදීප් සහ ලකී අරඹවෙල යන පුහුණුකරුවන් යටතේය. එසේ ක්‍රීඩා කර මාස කිහිපයක දී කඳවුරේ දක්ෂතමයා ලෙස ඔහු කැපී පෙනෙන්නේ අනෙක් ක්‍රීඩකයින් අබිබවා යමිනි. ලකී අරඹවෙලගේ අනාවැකිය ද මේ කාලයේ දී ම ගුවනට මුසුවන්නේ සැබැවින්ම පුංචි කොලුවාගේ දක්ෂතා නිසාවෙනි. මේ පුංචි කොලුවා අන් කවරෙකු නොව නවෝද් දිනූශ්‍රී පරණවිතාන ය.

ලකුණු දහසක් කුමන වයසක දී, කුමන කාණ්ඩයක දී ලබා ගත්ත ද එය පහසු ඉලක්කයක්  නොවේ. එලෙස ලකුණු 1000 පසුකර ගිය ක්‍රීඩකයින් අතරින් අපේ කථානායකයා ද එක් අයෙකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ තරගාවලිය නියෝජනය කරන නවෝද් තරගාවලියේ  වැඩිම ලකුණු ලාභියා ලෙස ඉදිරියෙන්ම පසු වේ. ඔහුගේ වමත් පිතිහරඹය ජාත්‍යන්තර පිති ප්‍රහාර සිහිගන්වයි.

අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි මහින්ද විද්‍යාලයීය කණ්ඩායම, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය හමුවේ පරාජය වීම නිසා අවාසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. එම තරගයට ද නායකත්වය සැපයූ නවෝද් ලකුණු 64ක් ලබා ගෙන ලකුණු 1000 සීමාව පසු කර යන්නේ තරගාවලියෙන් සිය පාසල ඉවත් වුවද පාසලටත්, ඔහුටත් ගෞරවයක් අත්කර දෙමිනි. ඔහු තරග 13ක් ක්‍රීඩා කරමින් ඉනිම් 14ක දී ලකුණු 1022ක් ලබා ගන්නේ ශතක 5ක් සහ අර්ධ ශතක 4ක් සමඟිනි.

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 175 ඔහුගේ දැවැන්තම සහ ප්‍රහාරත්මක ඉනිම ලෙස නවෝද් අප සමඟ පැවසුවේ තරමක් කුලෑටි ගතියකින් යුක්තවයි. ඒ ඔහුගේ හැටිය. ඔහුගේ පියා පවසන ආකාරයට ඔහු බොහෝ නිශ්ශබ්ද චරිතයකි. එම ලකුණු ගොන්නට හතරේ පහර 24ක් සහ හයේ පහර 7ක් ඇතුළත් විය. එමෙන්ම එම තරගයේ දෙවැනි ඉනිමේ නවෝද් පන්දු 17කින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් විය. ඊට හතරේ පහර 6ක් සහ වර්ණවත් හයේ පහර 5ක් අන්තර්ගත විය.

එසේම ඔහු ලබා ගත් ශතක අතරට දෙබරවැව විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 132, මාතර රාහුල විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 118, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහිව ලබා ගත් ලකුණු 125, කඳාන ද මැසනඩ් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 106 ද සඳහන් කළ හැකිය.

තවද අර්ධ ශතක පිළිබඳව කතා කිරීමේ දී ගාල්ල විද්‍යාලෝක, කුරුණෑගල මලියදේව, අම්බලන්ගොඩ දේවානන්ද විදුහල් මෙන්ම ඉහත සඳහන් පන්දු 17කින් ලබාගත් වේගවත්ම අර්ධ ශතකය ද ඇතුළත් වේ. නවෝද්ගේ 15න් පහළ තරගාවලියේ ලකුණු සාමාන්‍ය ලකුණු 73ක් වීම ද විශේෂිත වූ දක්ෂතාවයක් ද වන්නේය.

මෙසේ දක්ෂතා පෙන්වන ඔහු පිත්තට පමණක් සීමා වූයේ නැත. තරග 13ක දී වමතින් පිට දඟපන්දු යවමින් කඩුලු 21ක් ලබා ගැනීමට ද ඔහු සමත් විය. ඔහුගේ හොඳම පන්දු යැවීම කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව සටහන් වන්නේ ලකුණු 19ට කඩුලු 4ක් ලෙසයි.

තරග විනිසුරුවන්, පුහුණුකරුවන්, ක්‍රීඩාලෝලීන් පවසන අන්දමට අවුරුදු 15න් පහළ ශ්‍රි ලංකා ක්‍රීඩකයෙක් ලබාගත් ප්‍රථම වාර්තා ගත ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වනු නොඅනුමානය.

තවද ඔහු තමාගේ නම මින් පෙර ද වාර්තා පොත් අතර මෙන්ම මහින්ද විද්‍යාලයීය ඉතිහාස පොත් අතරට ද එකතු කර ඇත්තේ වයස අවුරුදු 13න් පහළ තරගාවලියේ දී ලකුණු 1182ක යෝධ ලකුණු ප්‍රමාණයක් ලබා ගත් නිසාවෙනි. එමෙන්ම වසර 9කට පසු මහින්ද විද්‍යාලයේ 13න් පහළ ක්‍රීඩකයෙක් ලබා ගත් ශතකය ද මොහු නමින් වෙන්වේ. එසේ අවුරුදු 13න් පහළ සහ 15න් පහළ තරගාවලි දෙකේ දී ම ලකුණු 1000 සීමාව පසු කර ගත් ශ්‍රි ලංකාවේ එකම ක්‍රීඩකයා ලෙස ද ඔහු වාර්තා අතරට එක්වේ.

13න් පහළ තරග වාරයේ ද ඔහු ශතක 6ක් සහ අර්ධ ශතක 5ක් ලබා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම පිතිකරු කුසලානය ද දිනා ගැනීමට සමත් විය. එමෙන්ම එම තරග වාරයේ දී කඩුලු 23ක් දවා ගැනීමට ද ඔහු සමත් විය.

වාර්තා පිට වාර්තා තබමින් කෙමෙන් කෙමෙන් ඔහු ශ්‍රි ලංකාව නියෝජනය කිරීමට වරම් ලබා ගන්නේය. ඒ 2017 වර්ෂයේ එංගලන්ත වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමට එරෙහිව ය. ඔහු එම සුහද ක්‍රිකට් තරගාවලියේ තරග හතරකින් තරග දෙකක් ක්‍රීඩා කර ලකුණු 22ක් සහ 36ක් ලබා ගැනීමට සමත් විය.

වාර්තා පොත් අලුත් කරන්නට පුරුදු වී සිටි නවෝද් පරණවිතානගේ නම මහින්ද-රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ වාර්තා පොතේ ද සඳහන් වේ. අවුරුදු 13යි මාස 10ක් වැනි අඩු වයසක දී (2016 වර්ෂයේ) ඔහු මහා ක්‍රිකට් තරගයක සෙල්ලම් කරන්නේය. එය උපුල් සුමතිපාල ක්‍රීඩකයාගේ වාර්තාව සම කිරීමකි. ඔහුගේ පළමු තරගයේ දී ම ප්‍රබල රිච්මන්ඩ් කණ්ඩායමට එරෙහිව නැංගුරම් ඉනිමක් දියත් කිරීමට හැකි විය. එම ඉනිම කණ්ඩායමේ ස්ථාවරත්වයට මනා පිටිවහලක් විය. තවද ඔහු 2021 තෙක් තවත් මහා තරග හතරක් ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් ද පසු වීම මහින්ද විද්‍යාලයට ශක්තියකි.

පැතුම් හසරංගගෙන් ඉන්ද්‍රජාලික ලකුණු දහසක්

ඔහුගේ ඉනිම් ඉන්ද්‍රජාලික ය. ජුගුප්ත්සාජනක ය. ඇදහිය නොහැකි නමුත්, තියුණු ය…

ජීවිතයක් සාර්ථකත්වයට පවත්වන්නට එක් අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ සහයෝගය අවශ්‍ය ය. නවෝද්ගේ සාර්ථකත්වය පිටුපස තම පවුලේ උදවිය, පුහුණුකරුවන්, පාසල් ගුරුවරුන් මෙන්ම කණ්ඩයමේ සගයන් ද, පාසලේ ආදී ශිෂ්‍ය මණ්ඩලයේ අය ද වේ.

නවෝද් පරණවිතානගේ පියා වන කැලුම් පරණවිතාන විශ්‍රාමික යුධ හමුදා පොලිස් නිලධාරියෙකි. එමෙන්ම මහින්ද විද්‍යාලයීය ආදී ශිෂ්‍යයෙකි. ඔහුගේ අවුරුදු 22ක සේවා කාලය අවසානයේ දී නවෝද්ගේ ක්‍රිකට් දිවිය ආරම්භ වීම නවෝද්ගේ වාසනාවකි.

මක්නිසාදයත් නාවෝද්ගේ ක්‍රිකට් පොතේ “අ” යන්නේ සිට අද දක්වා ඔහුගේ හෙවණැල්ල තම පියා වී සිටින නිසාවෙනි. ක්‍රීඩා කළ පළමු තරගයේ සිට සෑම තරගයකම ඔහු පුතාගේ පෞද්ගලික ලකුණු සහ කඩුලු ද, ඒ සෑම තරගයකම ලකුණු සටහන් පත්‍රිකාවල ඡායා පිටපත් ද අනුපිළිවෙළින් අමුණා ගෙන පිළිවෙළින් තබාගෙන ඇත. එමෙන්ම සියලුම ප්‍රවෘත්ති පත්‍රවල නවෝද්ගේ ලිපිවල කොටස් ද ඇල්බමයක් ලෙස සකසා ගෙන ඇත්තේ ඉතාම නිහතමානී ආඩම්බරයකිනි. එසේම නවෝද්ගේ සෑම තරගයකම ඔහු සාක්ෂි කාරයෙක් ද වන්නේ ඔහු සෑම තරගයකම ප්‍රේක්ෂකයෙකු වන නිසාවෙනි.

දීප්ති දහනායක වන ඔහුගේ මෑණියන් ගෘහණියක් ලෙස පවුලේ සියලු කටයුතු සොයා බලමින් දෙන සහයෝගය ද, ඇයගෙන් ලැබෙන ආශීර්වාදය ද නවෝද්ගේ සර්ථකත්වයට තවත් ඉවහල් වේ. වැඩිමල් සහෝදරයා වන බිනෝත් දිනූශ්‍රි පරණවිතාන නවෝද්ගේ ක්‍රිකට් දිවියේ ආරම්භකයා වේ. නමුත් දැන් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වී ඇත. පවුලේ බාලයා චමෝද් දිනූශ්‍රි පරණවිතාන ය.

මේ සියලු දස්කම් මධ්‍යයේ ඔහු තමාගේ අධ්‍යාපන කටයුතු ද සාර්ථකව කරගෙන යන්නේ පාසලේ ගුරුවරුන්ගේ සහ විදුහල්පති තුමාගේ විශේෂ උදව් යටතේය. පන්ති භාර ගුරුතුමිය වන අනුලා කාරියවසම් ගුරුතුමිය සහ පන්තියේ යහළුවන්ගෙන් ලැබෙන උදව් ඔහු මතක් කළේ ඉතාම ආදරයෙනි. එසේම ගාමිණී ජයවර්ධන විදුහල්පතිතුමාගේ සහ ක්‍රීඩාභාර ආචාර්‍යවරුන් වූ හෙට්ටිආරච්චි ගුරුතුමා සහ වසන්ත ගම්මුදුවත්ත ගුරුතුමන් ලබා දෙන සහයෝගය ද අමිල බව සඳහන් කළේය.

මෙසේ පියවර තබමින් යන්නා වූ ක්‍රිකට් මාවතේ අත්වාරුවක් වුනා වූ පුහුණුකරුවන් ද ඔහු මතක් කිරීමට අමතක නොකළේය. මුල්ම පුහුණුකරුවන් ලෙස රොඩ්නි ප්‍රදීප්, ලකී අරඹවෙල සහ සුනෙත් කුඩාහෙට්ටි යන අයවලුන් මතක් කළේය. සුනෙත් කුඩාහෙට්ටි අදටත් ඔහුගේ පුහුණුකරුය.

13න් සහ 15න් පහළ ප්‍රධාන පුහුණුකරු ධනුෂ්ක දෙනගම ද සඳහන් කළේය. නවෝද්ගේ  ක්‍රිකට් අත්තිවාරම ද ධනුෂ්ක දෙනගම අතින් සිදු වූවකි. තවද නවෝද්ගේ පළමු මහා තරගයේ පුහුණුකරුවා ද වන්නේ මොහුය.

එමෙන්ම 19න් පහළ කණ්ඩායමේ වර්තමාන පුහුණුකරු වන අනිල් රිදීගම්මන ද ස්තුති පූර්වකව සිහි කිරීමට ඔහු අමතක නොකරන්නේ තෙවැනි වසරේ ක්‍රීඩකයෙකු ලෙස 15 වයසැති නවෝද් පාසලේ 19න් පහළ කණ්ඩායමේ ද නිත්‍ය පිතිකරුවෙකු වන නිසාවෙනි.

2017/2018 වර්ෂයේ 19න් පහළ තරගාවලියේ තරග 10ක දී ලකුණු 507ක් ලබා ගනිමින් නුවර සිල්වෙස්ටර් විද්‍යාලයට එරෙහිව ශතකයක් ද සමඟින් අර්ධ ශතක 3ක් ලබාගෙන ඇත.

එසේම ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායමේ පුහුණුකරුවන් වූ අමිල පෙරේරා සහ ප්‍රසන්න ගලප්පත්ති යන අය ද පළාත් පුහුණුකරු වූ බ්‍රැඩ්මන් එදිරිවීර පුහුණුකරුවන් ද මතක් කළේය.

එමෙන්ම නවෝද්ගේ ක්‍රීඩා දිවියට නිහඬ සේවයක් සිදු කරන්නා වූ පුද්ගලයෙකු ගැන ඔහුගේ පියා සඳහන් කර සිටියේ ඉතාම සතුටින් මෙන්ම ස්තුති පූර්වකය. ඔහු නලීන් හේරත් ය. වසර තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ නවෝද්ගේ ක්‍රීඩාවට අවශ්‍ය මූල්‍යමය උපකාර මෙන්ම අධ්‍යාපන අවශ්‍යතා ද සපුරන්නේ ඔහු විසිනි.

මෙසේ ආකර්ෂණීය ක්‍රිකට් ගමනක් යන නවෝද්ගේ ද අනාගත බලාපොරොත්තුව වනුයේ තම රට වෙනුවෙන් ක්‍රීඩා කර තම රටට කීර්තියක් අත් කර දීමය. මේ ලිපිය කියවන සමස්ත පාඨකයන්ගේ ද බලාපොරොත්තුව එය වෙනවා නොඅනුමානය. නවෝද් දිනූශ්‍රි පරණවිතානට දිගු ගමනක් යාමට හැකි වේවායි ‘ThePapare.com’ අපි ද සුබ පතන්නෙමු.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<