වෙළඳසේවා වොලිබෝල් තරගාවලියට අතිවිශාල තෑගි මල්ලක්

139
Mercantile Volleyball 2017

2017 වසර සඳහා වන වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය මෙම මස 18 වන දින ආරම්භ වන අතර එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා රුපියල් මිලියන 1.5ක මුළු වටිනාකමකින් යුතු ත්‍යාග මුදලක් පිරිනැමීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව තවත් ප්‍රචලිත කිරීම සහ වෙළඳසේවා ක්ෂේත්‍රය තුළ ක්‍රීඩාව සම්බන්ධව ඇති උනන්දුව ඉහළ නැංවීම අරමුණු කරගෙන මෙම තරගාවලිය වසරක් පාසා ශ්‍රී ලංකාවේ වෙළඳසේවා වොලිබෝල් සංගමය මඟින් සංවිධානය කරනු ලබයි. පසුගිය වසරේ තරගාවලිය සඳහා කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර මෙවර තරගාවලිය සඳහා ඊට වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි සංවිධායකයන් අපේක්‍ෂා කරයි.

කැෂුවල් ලයින් සහ කැන්රිච්, වෙළඳසේවා සුපර් ලීග් ශූරතාවන් ලබා ගනී

ශ්‍රී ලංකා වෙළඳ සේවා වොලිබෝල් සම්මේලනය මඟින් සංවිධානය කරන ලද, වෙළඳසේවා වොලිබෝල් තරඟාවලියේ…

වසර 5ක විරාමයකින් අනතුරුව 2012 වසරේ දී මෙම තරගාවලිය නැවතත් ආරම්භ කිරීමෙන් අනතුරුව වෙළඳ සේවා වොලිබෝල් සංගමය මඟින් මෙවර තරගාවලිය පවත්වනු ලබන්නේ අඛණ්ඩව 5 වන වසරට යි.

වෙළඳසේවා වොලිබෝල් සංගමය මෙම තරගාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණ වන්නේ වෙළඳසේවා ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන්නන් හට සිය එදිනෙදා කාර්යබහුල කාලසටහනෙන් මිදී, මානසික සුව සහනය උදෙසා ක්‍රීඩාවේ නිරත වීමට අවස්ථාවක් සලසා දී ඔවුන්ගේ දක්ෂතාව ඉහළ නංවාලීමයි. කණ්ඩායම් තරගයක් වන වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වීම තුළින් ඔවුන් අතර ඇති කණ්ඩායම් හැඟීම වර්ධනය වන අතර එය ඔවුන් සේවය කරන ආයතනවලට වාසිදායක වේ. එමෙන්ම මේ හරහා සේවකයින්ගේ සැඟවී ඇති ක්‍රීඩා හැකියාවන් ද හඳුනා ගත හැකි අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයට ද මෙය බෙහෙවින් වැදගත් වේ.

ශ්‍රී ලංකාව තුළ නමක් දිනා සිටින වෙළඳ ආයතන සහ නාමයන් තරගාවලියේ අනුග්‍රාහකත්වය දැරීමට ඉදිරිපත්ව ඇත. ඒ අනුව ‘Platinum Sponsor’ ලෙස ‘MAS’ ආයතනයත්, ‘Gold Sponsors’ ලෙස ‘Sunquick’, ‘Lanka Tiles’, ‘Brandix’, ‘Expo Lanka Holdings PLC (EFL)’, ‘Etisalat’ සහ ‘David Pieris Motor Company Limited’ ආයතනත්, ‘Silver Sponsors’ ලෙස ‘SINGER’, ‘Damro’ සහ ‘Sri Lanka Insurance’ යන ආයතනත් ඉදිරිපත්ව ඇත.

තරගාවලියේ පළමු වටයේ තරග මෙම මස 18, 19 හා 20 තෙදින මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එහි අවසන් වටයේ තරග සැප්තැම්බර් මස 16 හා 17 යන දිනවල දී මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. තරගාවලිය කාන්තා හා පිරිමි යන තරග අංශ දෙක ඔස්සේම පැවැත්වෙන අතර ජාතික වශයෙන් පිළිගත් නීති රීතිවලට අනුව තරගාවලිය පවත්වනු ලබයි.   

තරගාවලිය සුපිරි ලීගය, ශූරතා තරගාවලිය සහ A කාණ්ඩය යනුවෙන් තරග අංශ තුනක් ඔස්සේ පවත්වනු ලබන අතර සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා පිරිනැමෙන මුළු ත්‍යාග මුදල්වල වටිනාකම රුපියල් මිලියන 1.5 ඉක්මවනු ලබයි. ඊට අමතරව තරගාවලියේ කාන්තා තරග අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාවට ස්කූටර් යතුරු පැදියක් ද, පිරිමි තරග අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා හට යතුරු පැදියක් ද පිරිනැමෙනු ඇත. තවදුරටත් ශූරයින්, අනුශූරයින් හට මෙන්ම කාන්තා හා පිරිමි තරග අංශවල දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද කුසලාන පිරිනැමේ.

තරගාවලිය සඳහා අයදුම්පත් බාර ගැනීම අද (09) අවසන් කෙරෙන අතර මීට අදාළ වැඩිදුර තොරතුරු ඔබට 0710 682 682 (චන්දන) හා 0776485456 (බුද්ධි) අංක වෙත ඇමතීමෙන් හෝ www.mercantilevolleyballsl.com යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ [email protected] යන විද්‍යුත් තැපෑල වෙත විද්‍යුත් තැපැල් පතක් යොමු කිරීමෙන් දැන ගැනීමට හැකිය.

තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් අදාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ට අදාළ ආයතනය තුළ මාස 02කට අධික කාලයක් සේවය කර තිබිය යුතුය. අයදුම්පත් තැපැල් කළ යුතු ලිපිනය වන්නේ වෙළඳසේවා වොලිබෝල් සංගමය, අංක 33, ටොරිංටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනය යි. ඊට අමතරව අදාළ ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “වෙළඳසේවා වොලිබෝල් 2017” වෙනුවෙන් සටහන් කර තිබිය යුතුය.

තරගාවලියේ විවිධ අංශවල ජයග්‍රාහක කණ්ඩායම් සඳහා පිරිනැමෙන ත්‍යාග මුදල් මෙසේය;

පිරිමි – සුපිරි ලීගය

  • 1 වන ස්ථානය – රු. 150,000 සහ කුසලානය
  • 2 වන ස්ථානය – රු. 100,000 සහ කුසලානය
  • 3 වන ස්ථානය – රු. 50,000 සහ කුසලානය

කාන්තා – සුපිරි ලීගය

  • 1 වන ස්ථානය – රු. 100,000 සහ කුසලානය
  • 2 වන ස්ථානය – රු. 50,000 සහ කුසලානය
  • 3 වන ස්ථානය – රු. 25,000 සහ කුසලානය

පිරිමි – ශූරතා අංශය

  • 1 වන ස්ථානය – රු. 100,000 සහ කුසලානය
  • 2 වන ස්ථානය – රු. 50,000 සහ කුසලානය
  • 3 වන ස්ථානය – රු. 25,000 සහ කුසලානය

කාන්තා – ශූරතා අංශය

  • 1 වන ස්ථානය – රු. 80,000 සහ කුසලානය
  • 2 වන ස්ථානය – රු. 40,000 සහ කුසලානය
  • 3 වන ස්ථානය – රු. 25,000 සහ කුසලානය

පිරිමි – A කාණ්ඩය

  • 1 වන ස්ථානය – රු. 20,000 සහ කුසලානය
  • 2 වන ස්ථානය – රු. 15,000 සහ කුසලානය
  • 3 වන ස්ථානය – රු. 10,000 සහ කුසලානය

කාන්තා – A කාණ්ඩය

  • 1 වන ස්ථානය – රු. 20,000 සහ කුසලානය
  • 2 වන ස්ථානය – රු. 15,000 සහ කුසලානය
  • 3 වන ස්ථානය – රු. 10,000 සහ කුසලානය

  වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට