තියුණු සටනකින් පසු වරායත්, විදුලිබලයත් අවසන් සංග්‍රාමයට

333

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ පිරිමි අංශයේ අවසන් පූර්ව තරග අද (09) දිනයේ දී මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

එහි දී ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම අවසන් පූර්ව තරග ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

විදුලිබල, MAS, යුධ හා වරාය පෙරටම

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ තෙවන දිනය…

පළමු අවසන් පූර්ව තරගය – ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ MAS Leisure Line

පළමු තරග වටයේ මුල් භාගයේ සිටම ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සමත් වූ අතර එම ලකුණු පරතරය එක් අවස්ථාවක දී ලකුණු 10කින් ඉහළ නැංවීමට සමත් විය. නමුත් නැවත තරගයට අවතීර්ණ වීමට MAS Leisure Line  කණ්ඩායම සමත් වුවත් තරගයේ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවිණි. පළමු අවසන් පූර්ව තරගයේ පළමු වටය ලකුණු 25-17ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම සමත් විය.

MAS Leisure Line කණ්ඩායම දෙවන වටයේ දී හොඳ ආරම්භයක් ලබා ගනිමින් තරගයට අවතීර්ණ වූ අතර ඔවුන් එය ලකුණු 3ක පරතරයක් දක්වා ගෙන යාමට සමත් විය. තරගයේ මැද භාගය වන විට කණ්ඩායම් දෙක කරට කර තරග වදිමින් ලකුණු රැස් කරන ආකාරය දැක ගත හැකි විය. නමුත් අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සමන්විත විදුලිබල මණ්ඩල කණ්ඩායම, MAS Leisure Line  කණ්ඩායමට නැවත එම තරග වටයේ දී හිස එසවීමට අවස්ථාවක් ලබා නොදෙමින් දෙවන වටය ලකුණු 25-16 ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරග වට දෙකක පරාජයන් සමඟ තෙවන වටයට පිවිසි MAS Leisure Line කණ්ඩායමට  මෙය ඉතාමත් තීරණාත්මක තරග වටයක් වූයේ එය ඔවුන් පරාජයට පත්වුවහොත් අවසන් මහා තරගයට සහභාගී වීමේ අවස්ථාව මගහැරෙන බැවිනි. එම පීඩනයත් සමඟ තරගය ආරම්භ කරමින් MAS Leisure Line  කණ්ඩායම පළමු ලකුණු දෙක ලබා ගනිමින් පෙරමුණ ගැනීමට සමත් වුවත් තරගයේ මැද භාගය වන විට කණ්ඩායම් දෙකම ලකුණු 17-17ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන්පසු විදුලිබල මණ්ඩල කණ්ඩායම පිට පිට ලකුණු 3ක් රැස් කිරීමට සමත් වූවත් එයට නොදෙවෙනි ලෙස MAS Leisure Line  කණ්ඩායම ලකුණු 4ක් රැස් කර 20-21ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. තෙවැනි තරග වටයේ ජයග්‍රහණය සඳහා කණ්ඩායම් දෙකම ලකුණු 24-24ක්, 25-25ක්, 26-26ක් හා 27-27ක් ලෙස අවස්ථා හතරක දී ම ඉතා තියුණු තරගයක නිරත වන ආකාරය දැකගත හැකි විය. නමුත් තියුණු තරගයකින් අනතුරුව ලකුණු 27-29ක් ලෙස එම තරග වටය ජයග්‍රහණය කිරීමට MAS Leisure Line  කණ්ඩායම සමත් විය.

තෙවැනි තරග වටය ජයග්‍රහණය කිරීමට සමත් වුවත් තරමක පීඩනයකින් යුතුව සිව්වැනි වටයට පිවිසි MAS Leisure Line කණ්ඩායම තරගයේ මුල් භාගයේ දී ලකුණු 1-5ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. විදුලිබල මණ්ඩල කණ්ඩායමට තමන්ගේ ලකුණු සංඛ්‍යාව අභිබවා යාමට අවස්ථාවක් නොදෙමින් තරගයේ මැද භාගයේදීත් ලකුණු 11-16ක් ලෙස පෙරමුණ ගැනීමට MAS Leisure Line කණ්ඩායම සමත් විය. දිගින් දිගටම විදුලිබල මණ්ඩල කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින් MAS Leisure Line කණ්ඩායම එම තරග වටය ලකුණු 18-25ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

කණ්ඩායම් දෙකම තරග වට දෙක බැගින් ජයග්‍රහණය කර සිටි බැවින් පස්වැනි තරග වටය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් විය. තෙවැනි සහ සිව්වැනි තරග වටවල දී තමන් අතින් සිදු වූ අඩුපාඩු සකස් කරගෙන හොඳ ආරම්භයක් ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම සමත් විය. තරගයේ මුල් භාගයේ දී ලකුණු 3-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ ඔවුන් මැද භාගයේදීත් ලකුණු 10-05ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. තරගය අවසන්  වූයේ MAS Leisure Line කණ්ඩායමට අවසන් තරගයට සහභාගී වීමේ අවස්ථාව අහිමි කරමින් ලකුණු 15-09ක් ලෙස ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගනිමිනි.

යුද හා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණ ලබති

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ කාන්තා තරග…

දෙවන අවසන් පූර්ව තරගය – ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය

පළමු තරග වටයේ මුල් භාගයේ සිටම කණ්ඩායම් දෙක කරට කර තරග වදිමින් ලකුණු 05-05ක් සහ 10-10ක් ලෙස සම තත්ත්වයේ තබා ගත් අයුරු දැකගත හැකි විය. පළමු කෙටි විවේකය යුධ හමුදා ක්‍රීඩා සමාජය විසින් ලබා ගන්නා විට 13-10ක් ලෙස වරාය අධිකාරි කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත් විය.

තරගයේ මැද භාගයේ දී ද එකිනෙකා පරයමින් කණ්ඩායම් දෙකම ඉතා දක්ෂ අයුරින් ක්‍රීඩා කළ අතර ලකුණු තත්ත්වය 18-17ක් වන විට වරාය අධිකාරි කණ්ඩායම තම පළමු කෙටි විවේකය ලබා ගන්නා ලදි. ඉතා තියුණු තරගයකින් අනතුරුව ලකුණු 25-23ක් ලෙස පළමු වටය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම සමත් විය.

දෙවන තරග වටයේ මුල් භාගයේ දී ද කණ්ඩායම් දෙකම කරට කරට තරග කළත් එක් අවස්ථාවක දී ලකුණු 12-08ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම සමත් විය. නමුත් පළමු කෙටි විවේකය වරාය අධිකාරි කණ්ඩායම විසින් ලබා ගන්නා විට ලකුණු පරතරය 15-14ක් ලෙස අවම කර ගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජයට හැකි විය. තරගයේ අවසාන භාගයේ දී කණ්ඩායම් දෙකම දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ලකුණු තත්ත්වය 24-24ක්, 25-25ක් සහ 26-26ක් ලෙස සම තත්ත්වයේ තබා ගැනීමට සමත් විය. තරගය අවසාන වූයේ ලකුණු 28-26ක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමට ජය අත්කර දෙමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරග වට දෙකක පරාජයකින් පසුව දැඩි පීඩනයකින් යුතුව තෙවැනි තරගයට පිවිසි ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය තරගයේ මුල් භාගයේ සිටම පෙරමුණ ගැනීමට සමත් විය. පළමු කෙටි විවේකය යුධ හමුදා ක්‍රීඩා සමාජය විසින් ලබා ගන්නා විට ඔවුන් ලකුණු 11-16ක් ඉදිරියෙන් සිටි අතර ඉන්පසු ඔවුන් එම ලකුණු පරතරය දිගටම තබා ගනිමින් ලකුණු 15-21ක් දක්වා ගෙන යාමට සමත් විය.

නමුත් ජනිත සුරත්ගේ දැවැන්ත පන්දු පිරිනැමීම් සමඟ එම ලකුණු පරතරය ලකුණු 22-23ක් අඩු කරගැනීමට වරාය අධිකාරි කණ්ඩායම සමත් වුවත් තරගය ජයග්‍රහණය කිරීමට එය ප්‍රමාණවත් නොවිණි. තෙවැනි තරග වටය ලකුණු 23-25ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයයි.

සිව්වැනි තරග වටයේ පළමු ලකුණ යුධ හමුදා ක්‍රීඩා සමාජයට ලබා ගැනීමට හැකිවුවත් ඉන්පසු වරාය අධිකාරි කණ්ඩායමේ ලසිඳු මෙත්මාල් සහ ජනිත සුරත්ගේ දැවැන්ත ප්‍රහාරයන් හමුවේ අසරණ වීමට සිදු විය. තරගයේ මුල් භාගයේ දී ලකුණු 07-03ක් ලෙස ඉදිරියෙන් සිටි වරාය අධිකාරි කණ්ඩායම මැද භාගයේ දී ද පිටිය පුරා තම අණසක පතුරවමින් ලකුණු තත්ත්වය 18-11ක් දක්වා ගෙන ඒමට සමත් විය. ඉන්පසු යුධ හමුදා ක්‍රීඩා සමාජයට තරගය තුළ හිස එසවීමට ඉඩකඩ ලබා නොදුන් ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ලකුණු 25-19ක් ලෙස එම තරග වටය ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරගාවලියේ පිරිමි අංශයේ අවසන් පූර්ව තරග මෙසේ නිමාවට පත්වුවත් කාන්තා අංශයේ තරග සහ පිරිමි අංශයේ තෙවැනි ස්ථානය සඳහා වන තරග මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (09) සවස පැවැත්වේ. එහි සජීව තරග විකාශය ThePapare.com ඔස්සේ නැරඹිය හැක.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<